අමෙරිකානු නීතිපති පෑම් බොන්ඩි (Pam Bondi) සිය ධුරයෙන් ඉවත් කරන බවත්, ඇය වෙනුවට නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලැන්ච් (Todd Blanche) වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පෑම් බොන්ඩි පෞද්ගලික අංශයේ නව රැකියාවක් සඳහා යොමු වීමට නියමිත බැවින් ඇය සිය ධුරයෙන් ඉවත් වන බව ට්‍රම්ප් සිය ‘ටෘත් සෝෂල්’ (Truth Social) ගිණුමේ සටහනක් තබමින් තහවුරු කර තිබෙනවා.
පසුගිය වසර පුරා ඇය ඉටුකළ සේවය ඇගයීමට ලක්කළ ජනාධිපතිවරයා, ඇය යටතේ අමෙරිකාවේ අපරාධ මර්දනය සාර්ථකව සිදු වූ බවත්, මිනීමැරුම් අනුපාතය 1900 වසරෙන් පසු අවම මට්ටමට පහත වැටුණු බවත් සඳහන් කර ඇති අතර, ඇයව “ශ්‍රේෂ්ඨ දේශප්‍රේමියෙක්” ලෙස ද ඔහු හඳුන්වා දී තිබෙනවා.
නීතිපති ධුරය සඳහා පත් කර ඇති ටොඩ් බ්ලැන්ච්, දක්ෂ හා ගෞරවාන්විත නීතිඥයෙකු බව ට්‍රම්ප් පවසන අතර, ටොඩ් බ්ලැන්ච් මීට පෙර ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.
මූලාශ්‍රය | බීබීසී
