ඇළෙන් ගොඩ ආ අලියා වාහනවලට පහරදී පලායයි

(සිරිපුර මදුශානි අබේසිංහ)

මාදුරුඔය, ඉසඩ්.ඩී ඇළට වැටී පැය කිහිපයකට පසු ගොඩට ආ වන අලියකු වනජීවී කැබ්රියට සහ යතුරු පැදි හතරකට පහර දී හානි සිදුකර මැදගම රක්ෂිතයට පලාගිය බව පිඹුරත්තෑව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

මාදුරුඔය අලුත්ඔය ප්‍රදේශයෙන්  මෙම වන අලියා ඉසඩ්.ඩී .ඇළට වැටී සිටි අතර වන අලියා ගොඩ ගැනීම සඳහා පිඹුරත්තෑව වනජීවි නිලධාරිහු   විශේෂ මෙහෙයුමක් ආරම්භ කළහ.

මෙම වන අලියා ගොඩගැනීම සඳහා ස්ථාන කිහිපයකින් ටයර්,ලී කොට,යකඩ දම්වැල්,කඹ යොදා වන අලියා ගොඩ ගැනීමට කිහිප වරක් උත්සාහ ගත්තද, එම වන අලියා ජලයේ සැඩ පහරට කිලෝමීටර් 20ක් පමණ දුරට,මැදගම පහේ කණුව ප්‍රදේශයට ගසාගෙන ගිය බව මෙහෙයුමට එක්වූ පිඹුරත්තෑව අඩවි ආරක්ෂක ට්‍රෙවීශ් පෙරේරා මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පසුව මෙම වන අලියා මැදගම ප්‍රදේශයේ විදුලි බලාගාරය ක්‍රියාත්මක කරන ස්ථානයෙ සොරොව්ව අසලින්,ගොඩට පැමිණීමත් සමග ආසන්නයේ නවතා තිබූ වනජීවී කැබ් රථයට සහ යතුරුපැදි හතරකට පහරදී මැදගම රක්ෂිතයට පලා ගියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top