මදුසමය මැද මනාලිය තනිකර ඔෆිස් එකේ ඕටී කරන්න ගිය රත්නපුර මනාලයා

මධුසමයට ගිය මනාලිය හෝටලයේ තනිකර දමා රාජකාරි ස්ථානයේ අතිකාල සේවය සඳහා ගිය මනාලයකු පිළිබඳ පුවතක් රත්නපුර ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

කලක පටන් පැවති පෙම් සබඳතාවයක් මත සිදු වූ මංගල්‍යයකි. සතියේ සුබ දිනයක සුබ නැකතින් මංගල්‍යයේ කටයුතු සිදු කෙරුණි. සති අන්තයත් සමඟ තුන් දිනක් මේ යුවළ මධුසමය සඳහා දින වෙන් කර තිබිණි.

මංගල දාට පසු දින උදේ මනාලයාට දුරකතන ඇමතුමක් ලැබිණි. එයින් කියවුණේ එදින ඔහුගේ රාජකාරී ස්ථානයේ අතිකාල සේවයට නිලධාරියෙකුගේ අඩුවක් ඇති බව ය.

එය ඇසූ වහාම හිසේ මලක් පිපුණු මනාලයා මනාලියට චාටු බස් කියා ඉක්මනින් හැඳ පැළඳගෙන අතිකාල රාජකාරී සඳහා පිටත්ව ගියේ ය.

සැන්දෑවේ ඔහු ආපසු එනතුරු මනාලිය හෝටලයේ කාමරයට වී හුදෙකලාවේ කුසගින්නේ කල් ගත කළා ය.

දෙවෙනි ගමන යෙදුණු දවසේ මනාලිය සිය යෙහෙළියකට මේ බව හෙළි කිරීමෙන් පසු මනාලයා ගේ මධුසමයේ අතිකාල සේවය පිළිබඳ කතා පුවත කටින් කට යාම හේතුවෙන් අතිකාල මනාලයා යයි නමක් පට බැඳී ඇතැයි ද දැන ගන්නට ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top