පරණයි කියා ගෙන්වූ අලුත් වාහනවලින් රජයට කෝටි 25ක බදු පාඩුවක්

පාවිච්චි කළ වාහන යැයි කියමින් ආනයනය කර තිබෙන අලුත්ම වාහන 171කින් පමණක් රජයට රුපියල් විසිපන් කෝටි හැත්තෑ ලක්ෂයක බදු ආදායමක් අහිමි වී තිබෙන බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබේ. මේ බව අනාවරණය වී ඇත්තේ පසුගිය මැයි මස 21, 22 හා 23 යන දිනවල දී ආනයනය කර ඇති වාහන සම්බන්ධයෙන් රේගුව අහඹු ලෙස ලබා ගත් නියැදියක් අනුව සකස් කළ වාර්තාවකිනි. මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් කරන ලද දැනුම් දීමකට අනුව රේගුව මෙම වාර්තාව සකස් කර තිබෙන අතර එය මුදල් අමාත්‍යාංශය කාරක සභා සභාපතිවරයාට භාර දී තිබේ.

එම වාර්තාවට අතුළත් වූ වාහන අතුරින් වාහන 194ක තොරතුරු සභාපතිවරයා ගොනු කර ඇත. ඒ අනුව එම වාහන 194න් 171ක්ම පාවිච්චි කළ වාහන ලෙස ආනයනය කර තිබෙන නමුත් එම බොහෝ වාහන ධාවනය කර ඇත්තේ කිලෝමීටර් දහයටත් අඩු ප්‍රමාණයකි. එම වාහනවලින් සියයට අසූ අටක්ම කිලෝමීටර් දහසට අඩුවෙන් ධාවනය කර ඇති බව ද සභාපතිවරයා කාරක සභාවට හෙළි කර ඇත.

ධාවනය කර තිබෙන කිලෝ මීටර් ප්‍රමාණය ඉතා සීමිත වුවත් පාවිච්චි කළ වාහන ගණය යටතේ මෙම වාහන ආනයනය කර තිබෙන හෙයින් ආනයනය කරන්නාට සියයට පහළොවක බදු සහනයක් හිමි වෙයි. මෙම වාහන 171න් රජයට රුපියල් විසි පන් කෝටි හැත්තෑ ලක්ෂයක් බදු ආදායමක් අහිමි වී ඇත්තේ එම සියයට පහළොවේ බදු සහනය අනුවය.

සභාපතිවරයා එම වාහන කිහිපයක තොරතුරු ද කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඒ අනුව එක් වාහනයක් කිලෝමීටර් පහක් පමණක් ධාවනය කර තිබෙන අතර වාහනය නිෂ්පාදනය කර ඇත්තේ මාස තුනකට පෙරය. තවත් වාහනයක් කිලෝමීටර් එකොළහක් ධාවනය කර තිබෙන අතර එම වාහනය දින විස්සකට පෙර නිෂ්පාදනය කළ එකකි. මෙලෙස ආනයනය කර තිබෙන ඇතැම් අලුත් වාහනවලට සියයට විසි නවයක බදු සහනයක් ලැබී තිබෙන බවත් සභාපතිවරයා අනාවරණය කළේය.

මෙම බදු සහනය ලබා ගත හැකිව ඇත්තේ 2016 වසරේ නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් අනුව යැයි එම අවස්ථාවේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දන්වා තිබේ.

එම ගැසට් නිවේදනයට අනුව වාහනය ධාවනය කර නැතත් නිෂ්පාදිත රටේ ලියාපදිංචි කර තිබේ නම් පාවිච්චි කළ වාහනයක් ලෙස බදු සහනය ලබමින් ආනයනය කිරීමේ අවස්ථාව තිබෙන බව නිලධාරීන් පවසා ඇත.

පාවිච්චි කළ වාහනවලට අදාළ එම නිර්වචනය යළි සලකා බලන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙන අතර එම සහනය අවභාවිත කර තිබෙන බව එම අවස්ථාවේ පවසා ඇති ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊට කළ හැකි ප්‍රතිකර්ම සලකා බලන ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

නිලන්ත මදුරාවල – Aruna.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top