දෙහිවල පොලිසියේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැනට මාස 09ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා මාස 09ක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගතව රඳවාගෙන ගැනීමෙන් අනතුරුව එම තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාලව කිසිම වරදක් සිදුකර නැති බවත්, තරුණයා ඇප මත මුදා හරින ලෙසත් දෙහිවල පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අද ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම තරුණයා අත් අඩංගුවට පත් වන්නේ පසුගිය වසරේ ඔක්තොම්බර් මාසයේ 25 වැනිදා ය. ඒ ඊශ්‍රයාලයට විරෝධය දැක්වූ බව පවසමිනි.
මේ සම්බන්ධයෙන් පසුගිය 2025 වර්ෂයේ මැයි මස 27 වන දින උද්ධෘත සකස් කර නීති කොට්ඨාසයට සහ නීතිපතිතුමා වෙත යොමු කරමින් නීතිපති උපදෙස් ලබා ගැනීමට දෙහිවල පොලිසිය කටයුතු කර ඇති පසුබිමක නීතිපතිතුමාගේ උපදෙස්වලින් තොරව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුට ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය දෙහිවල පොලිසියට පැවසීය.
සැකකරු ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි දෙහිවල පොලිසිය මින් පෙරදී අධිකරණයට දන්වා සිටි බවත් මාස 9 කට අධික කාලයකට පසුව සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී පනත යටතේ වරදක් කර ඇති බවට සාක්ෂි නොමැති බව පවසන්නේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියෙන් විමසීය.
ඒ අනුව මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අදාළව සැකකරුට එරෙහිව කිසිදු අපරාධයක් අනාවරණය නොවන්නේ නම් මේ සම්බන්ධයෙන් නීති කොට්ඨාසය මඟින් නීතිපතිතුමා දැනුවත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය දෙහිවල පොලීසියට නියෝග කළ අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව තමන් කටයුතු කරන බව මහේස්ත්‍රාත්වරිය පැවසීය.
සැකකරු වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, රෂාඩ් අහමඩ්,ඉල්හාම් හසනාලි, මොහොමඩ් ෆර්සාන් යන නීතිඥ මහත්වරුන් පෙනී සිටියහ.
සැකකරු ජූලි මස 15 වන දින භෞතිකව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළාය.
