පොළොන්නරුව වැලිකන්ද සෙවනපිටිය ශ්‍රී කාශ්‍යපාරාමයට ඊයේ (30 ) දහවල් කාලයේ දී කඩා වැදුණු රිළා රංචුවක් විහාරස්ථානයේ තිබූ පාත්තර, සිවුරු, බුද්ධ ප්‍රතිමා, පිරිත් නූල්, විදුලි පංකා, බල්බ, දුරකථනයක් හා ධර්මාසනය ඇතුළු පූජා භාණ්ඩ රැසකට හානි සිදුකර පලාගොස් ඇති බව සෙවනපිටිය කාශ්‍යපාරාමාධිපති උහුමීයේ සිරිසුමනරතන නාහිමියෝ සඳහන් කළහ.
මීට පෙර අවස්ථා දෙකකදීම මෙම රිළා රංචුව තම විහාරස්ථානයේ දේපළවලට හානි සිදු කළ බවත් මේ වන විට සංඝාවාසයේ වහලය කඩා ඇතුළු වූ රිළා රංචුව සංඝාවාසයේ තිබූ සියලු බඩු භාණ්ඩවලට හානි සිදුකර ඇති බවත් නා හිමියෝ පැවසූහ.

තමන් අසල දායක නිවසකට ගොස් පැමිණීමේ දී බුද්ධ පූජාවන් පවත්වන සියලු උපකරණ, භාජන ඇතුළු තම සිවුරු පිරිකර පවා රිළා රංචුව විනාශ කර ඇති බවත්, මෙම රිළා රංචු පලවා හැරීමට නලාවක් ගෙනත් තිබූ අතර රිලවුන් එම නලාවත් විනාශ කර ඇති බවත් සිරිසුමනරතන නාහිමි කීහ.
විහාරස්ථානයට මෙන්ම ගම්මානයට ගෙවතු නිවාසය වලට රිළා රංචු කරන හානිය සහ විනාශකාරී තත්ත්වය පිළිබඳ ප්‍රදේශයේ වනජීවී නිලධාරින් සහ අදාළ බලධාරීන් අවස්ථා කිහිපයක දැනුවත් කළ ද ඊට කිසිදු විසඳුමක් නොමැති බව උන්වහන්සේ පැවසූහ.
මෙම රිළා රංචුව අල්ලා රක්ෂිතයකට රැගෙන යාමට කටයුතු කරන ලෙසත් එසේ නැතහොත් විහාරස්ථානය අතහැර වෙනත් ප්‍රදේශයකට තමන්ට වැඩම කිරීමට සිදුවන බවත් සිරිසුමනරතන නාහිමි වැඩිදුරටත් කීහ.
