මගේ මහ ගෙදර ඇත්තේ අඹන්පොලය. ඊයේ මුළු දවසේම කාවන්තිස්ස ඇතා අපේ ගමේ ගෙදර වත්තේය. අම්මා තනියම ගේ තුළට වී දිනය ගෙවා දමා තිබිණි.
අම්මා ආසාවෙන් වගා කරගෙන තිබුණු භෝග ටිකනම් ඉවරය. ඉවරටම ඉවරය. වනජීවියට කියලාත් වැඩක් නැත. මේ අලි පැන්නිල්ලේත් කෙළවරක් නැත. එය වනජීවියට මෙන්ම ගැමියන්ට ද දැන් වෙහෙසකි. කරන දෙයක් කරගෙන යන්නට අලින්ට ඉඩ දී ගෙවල් තුළ කොටු වූ මිනිසෙකුගේ අත්දැකීම කිසිවෙකුට තේරෙන්නේ නැත. ”
එවන් පසුබිමක මේ දෙපිරිසටම සිදුවන කරදර අවම කර ගැනීමේ අරමුණින් විශිෂ්ට නිර්මාණයක් කළ තරුණ දරුවෙක් අපට මුණගැහෙන්නේය. ඒ ,අඹන්පොළ අමණුගම දීය. තරුණයාගේ නම ඒ .එච් එම් විනුර අබේරත්නය. වයස අවුරුදු 21 කි.
මේ තරුණයා විසින් “Elephant journey ” නමින් ජංගම යෙදවුමක් නිර්මාණය කර ඇත්තේය. මෙම ජංගම යෙදවුම සක්‍රීය කර ගන්නා දුරකථන වලට කිලෝමීටර් පහක සීමාව තුළ වන අලියන් ගැවසෙන්නේ නම් සංඥාවක් මගින් ඒ බව දැනුම් දෙන්නේය.
මේ තරුණයාගේ “Elephant journey ” යෙදවුම වසර ගණනාවක උත්සාහයක ප්‍රතිඵලයකි. පරමාර්ථය අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් උපදින බොහෝ ගැටලු අවම කරගැනීමය.

විනුර අබේරත්න වයඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු 2023 වර්ෂයේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට තිබිණි. සිය නිමැවුම ගැන විනුර ලංකාසර සමග විශේෂ සංවාදයකට එක් වුනේය.
” මට මතකයක් තියෙනවා මං පුංචි කාලේ කඩහතගම දී “සංඛ “කියන ඇතා මැරුණා… මට එදා පුදුම කණගාටුවක් ඇතිවුණා… ඒ එදා ඇතිවුන කණගාටුව තමයි මේ ඇප් එක නිර්මාණය කරන තැනට එන්න මගේ මනස සූදානම් කළේ…”
“මුලින්ම මෙම යෙදවුම මම නිර්මාණය කළත් ඒක අසාර්ථකවුණා. ඒත් මං බලාපොරොත්තුව අත් හැරියේ නෑ. ආපහු උත්සාහ කළා.”
“ඒ අනුව අවසානයේදී මං සාර්ථකව මේ නිර්මාණය කළා. මට මේ ඇප් එක නිර්මාණය කරන්න මගේ යාළුවො දෙන්නෙක් උදව් කළා .ඒ චමල් සේනාරත්න හා සිතිජ නෙත්සර කියන යාළුවො දෙන්නා.”

“වන අලි ගම් වැදීම, වන අලිමරණ, මිනිස් මරණ, හා දේපළ හානි ,භෝග වගා හානි ,වනජීවී අපරාධ, මේ සියල්ල වළක්වා ගන්න මේ ඇප් එක උදව් වෙයි කියලා මට හිතෙනවා.”
අපේ මිනිස්සු අලි එක්ක තරහා නෑ….
අපි අලි එක්ක තරහ නෑ.. ඒ අය අපේ වතු වල ගැවසෙනවා දකිද්දී ඉස්සර වගේ අපි දැන් බයත් නෑ… එයාලා අපිට බයත් නෑ… මට හිතෙනවා මගේ මේ ඇප් එක අපි දෙගොල්ලා අතර සුහදතාවය තවත් වර්ධනය කරාවි කියලා. ”
වෙනුර පැවසුවේය .
මේ දිනවල අඹන්පොල මහව ප්‍රදේශයේ වල් අලි බහුලව ගැවසෙන්නේය.
මැඬියාව, නිකවෙලයාය පදිංචි එච්. ආර්. පුංචි බණ්ඩා සිය අත්දැකීම මෙසේ කීවේය.
“අපි අලින්ට වෛර කරන මිනිස්සු නෙමෙයි. අලි මරා දමන්නවත් වෙඩි තියන්නවත් ඔවුන්ට හානියක් කරන්නවත් අපිට ඕන නෑ… ඒත් අලි මිනිස් ගැටුම නිසා සිදුවන අපරාධ කෙළවරක් නෑ… අමුණුගම දරුවෙක් ගේ අලුත් නිර්මාණයක් ගැන දැනගන්න ලැබුණා. ඒ ගැන පුදුම සතුටක් තියෙන්නේ. අලි අවට ගැවසෙනවා නම් කල් තියා අපිට දැනුවත් වෙන්න පුළුවන් නම් අනතුරු අවම කරගන්න පුළුවන්. ”
“පෙරේදා උදේ දහයට විතරත් අලි අපේ ගම් වල… පොඩි එකෙක් පස්සේ අලියෙක් පන්නලා… පොඩි එකා දුවගෙන ගිහින් කුඹුක් ගහකට නැගලා ජීවිතේ බේරගෙන… එහෙම නොවෙන්න අදත් අපේ ගමේ මරණයක්.”
“ඉස්සර නම් අලි ආවේ රෑට… ඒත් දැන් එවුන් දවාලටත් ගම් වදිනවා… දැන් අලි මෙහේ ගැවසෙන්නේ හරියට මීහරක් වගේ… අපි දැන් වනජීවියකට කෝල් කරන්නෙත් නෑ… එහෙම කළා කියලා වැඩක් නෑ. කෙළවරක් නෑ. අන්තිමේ කණගාටුවක් විතරයි ඉතුරු වෙන්නේ…” ඔහු කියන්නේය.
මේ අත්දැකීම විඳිමින් සිටිනා ගැමියෙක් ලෙස දනිමි. කොළඹ සිට අලින් වෙනුවෙන් වැළලෙන්නට හදනා ඇත්තන් කියන සිහින වින්දනය සහ ඒක පාර්ශවීය වේදනාව ප්‍රශ්නයේ යථාර්ථය නිරූපනය කරන්නේ නැත. ඔවුන් ගේ ප්‍රකාශනයේ ඇත්තේ ගම්වල මිනිසුන් මිනිසුන්ට අලි මැරීමට නිදාගන්නේ නැතිව ගේම් ගසන බවට වූ වෛරී ප්‍රකාශනයකි. අප දකින්නේ තමන්ගේ දරුවා එළියට බසින මොහොතක වන අලි ප්‍රහාරයකට ලක් වී මිය යා හැකි බවට දෙගිඩියාවෙන් සිටින බියපත් මිනිස්සුය. ඒ මිනිස්සු අති බහුතරයක් අතරේ වන අලි අනාරක්ෂිත නම් අද රටේ එක් අලියෙක්වත් ඉතිරි වීමට ඉඩක් නැත. ප්‍රශ්නයේ ස්වරූපය විකෘති කර ස්වයං වින්දනයක යෙදෙනවාට වඩා අප ඉන්නේ මේ ව්‍යසනයේ කෙලවරක් දකින විසඳුමක් පිළිබඳ අපේක්ෂාවකය.

