ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂිත තැන්පතුවලින් යෙන් බිලියනයකට වඩා වැඩි මුදලක් එහි සේවකයෙකු විසින් සොරකම් කිරීම සම්බන්ධයෙන් ජපානයේ විශාලතම බැංකුව වන MUGF පසුගිය සඳුදා සමාව අයැද සිටියේ ය.
Mitsubishi UFJ Financial Group Inc ලෙස විධිමත් ලෙස හැඳින්වෙන මෙම බැංකුව පැවසුවේ සොරකම සම්බන්ධයෙන් විමර්ශනය කරමින් සිටින බවත්, බලපෑමට ලක් වූ බවට සැලකෙන ගනුදෙනුකරුවන් 60 දෙනාගෙන් 20 දෙනෙකුගෙන් පමණ තහවුරු කර ඇති මුදල යෙන් මිලියන 300ක් බවත් ය. තව ද ඔවුන්ට වන්දි ලබාදීමට කටයුතු කරමින් පවතින බව සඳහන් ය.
2020 අප්‍රේල් මාසයේ සිට මෙම වසරේ ඔක්තෝම්බර් මස අවසානය දක්වා මෙම ගැටලුව අනාවරණය කරගත් ටෝකියෝ බැංකුවේ ශාඛා දෙකක මෙම සොරකම් සිදු වී තිබේ.
MUFG හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Junichi Hanzawa පැවසුවේ ආරක්ෂිත තැන්පතු පෙට්ටි කළමනාකරණය කිරීම සඳහා වගකිව යුතු වයස අවුරුදු 40 ගණන්වල කාන්තා සේවිකාවක් මෙම මුදල් සහ වෙනත් වටිනා භාණ්ඩ සොරකම් කිරීමට ඇති බවට සැක කරන බවයි.
“මෙම සිදුවීම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය පළුදු කර ඇති අතර අපගේ බැංකු ව්‍යාපාරයේ පදනමම සොලවා ඇත,” හන්සාවා පවසා ඇත. MUFG සේවාදායකයින්ට කරදර ඇති කිරීම ගැන ඔහු සමාව අයැද සිටියේ ය.
MUFG පැවසුවේ එකී සේවකයා මුදල් ලබාගෙන එය ආයෝජන සහ ඇගේ පෞද්ගලික අරමුණු සඳහා භාවිත කළ බව පිළිගෙන ඇති බවයි. ඇයව සේවයෙන් පහ කර ඇති අතර, ඇය බැංකුවේ අභ්‍යන්තර පරීක්ෂණයට සහ පොලිස් පරීක්ෂණයකට සහයෝගීව කටයුතු කළ නමුත් තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.
MUFG සිදුවීම ජපානයේ ප්‍රධාන මූල්‍ය ආයතනයක සාපරාධී ක්‍රියාකාරකම් සම්බන්ධ මෑත කාලීනයේ සිදු වූ දෙවන සිදුවීම යි. නොවැම්බර් මාසයේදී, හිරෝෂිමා හි ගනුදෙනුකරුවෙකු ඉලක්ක කර සොරකම් කිරීම, මිනීමැරීමට තැත් කිරීම සහ ගිනි තැබීම සම්බන්ධයෙන් සැකපිට හිටපු සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
MUFG සොරකම් ගැන විමසූ විට, රජයේ ප්‍රධාන ප්‍රකාශකයා පවසා සිට ඇත්තේ බැංකු මෙහෙයුම් සඳහා ඉහළ විශ්වාසයක් සහ මහජන සේවය පිළිබඳ හැඟීමක් අවශ්‍ය බවයි.
මෙම සිදුවීම “අතිශයින්ම කණගාටුදායක” බව ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි පවසා ඇත.
