මාතලේ ඇල්ලකින් නාන්න ගිය සිසුවෙකු මරුට

මාතලේ, ඇල්කඩුව, හුන්නස්ගිරිය වත්තේ පිහිටි දිය ඇල්ලකින් පහතට වැටීමෙන් පාසල් සිසුවෙකු ඊයේ (12) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. දිය නෑම සඳහා මිතුරන් පිරිසක් සමග ගිය අවස්ථාවේ මෙම සිසුන් අනතුරට ලක්ව ඇති බව පොලීසිය වාර්තා කරයි.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ වත්තේගම, මීගම්මන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුෂ්ක නවින් ඒකනායක නැමැති තරුණයෙකි. ඔහු මහනුවර සුමංගල විද්‍යාලයේ උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවෙකු බව හඳුනාගෙන ඇත.

අනතුරට පත් මෙම සිසුන් තිදෙනා සමග රැකියාවක නියුතු තවත් මිතුරෙකු ද මෙම ගමනට එක්ව තිබේ. පොලීසිය සඳහන් කරන පරිදි, මෙම සිව්දෙනා යතුරුපැදි දෙකක් භාවිත කරමින් දිය නෑම සඳහා අදාළ ස්ථානයට ගොස් ඇත.

මූලික පොලිස් පරීක්ෂණවලට අනුව, මෙම පිරිස දිය ඇල්ල පිහිටි ගල මුදුනට නැගීමට උත්සාහ කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය පෙන්වා දෙන්නේ මෙම ස්ථානය ගල් සහිත මෙන්ම ලිස්සන සුළු ස්වභාවයකින් යුතු එකක් බවයි.

අනතුරින් තුවාල ලැබූ අනෙක් සිසුන් දෙදෙනා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි. මියගිය සිසුවාගේ දේහය ද මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත. කන්දෙනුවර පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top