හෝමාගම පාසලක සිසු ගැටුමකින් 2 කට බරපතළයි

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පිහිටි රජයේ පාසලක සිසුන් කණ්ඩායම් දෙකක් අතර ඊයේ (16) දින ඇති වූ ගැටුමකින් සිසුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව හෝමාගම පොලීසිය පවසයි. මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ එම පාසලේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි.

පාසලේ උසස් පන්ති දෙකක, එනම් 10 වසර සහ 11 වසර සිසුන් දෙපිරිසක් අතර හටගත් බහින්බස් වීමක් දුරදිග යාම මෙම ගැටුමට හේතු වී තිබේ. 11 වන වසරේ සිසුන් විසින් 10 වන වසරේ සිසුන්ට පාසල් ක්‍රීඩා පිටිය අසලදී පහර දී ඇති අතර, එහිදී 11 වසරේ සිසුවෙකු විසින් 10 වසරේ සිසුවෙකුට යකඩ පොල්ලකින් පහර දී ඇති බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

පහරකෑමට ලක්වූ තුවාල ලැබූ සිසුන් දෙදෙනා ඔවුන්ගේ දෙමාපියන් විසින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top