කල් ඉකුත් වීමට ආසන්න තයිරොක්සයිඩ් පෙති මිලියන 28 ක් බාරගෙන

පසුගිය 2017 කාලසීමාවේදී වෛද්‍ය සැපයුම් ඒකකය සඳහා කල් ඉකුත් වීමට ආසන්න තත්ත්වයේ පැවති තයිරොක්සින් පෙති මිලියන 28ක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි භාරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විගණන විමසුමකින් පෙන්වා දීමෙන් අනතුරුව, එම ඖෂධ තොග භාරගන්නා ලද පහළ නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබූ බවත්, මේ වසර මැද වන විට එම විමර්ශනය අවසන් වී ඇතත්, අදාළ සමාගම්වලට ගෙවන ලද රුපියල් මිලියන 16ක පමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් වගකිව යුතු ඉහළ නිලධාරීන්ට එරෙහිව මේ දක්වා නීතිය ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත්, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

බොහෝ අවස්ථාවලදී සිදුවන මෙම ගනුදෙනුවලදී වන අලාභය අයකර ගන්නා බවට ප්‍රකාශ වුවද, අලාභය අය කර ගැනීමේ ප්‍රතිශතය ඉතා දුර්වල තත්ත්වයක පවතින බව පසුගිය විගණන වාර්තා මගින් පැහැදිලි වන බව ඔහු පෙන්වා දෙයි.

මෙම තයිරොක්සින් පෙති මිලියන 28 ප්‍රමාණය 2016 සැප්තැම්බර් කාලසීමාවේදී වෛද්‍ය සැපයුම් ඒකකයට භාර ගැනීමට කටයුතු කර ඇති අතර, එම තොග භාර ගැනීමෙන් අනතුරුව, ඊට පෙර ඇණවුම් කරන ලද කල් ඉකුත් වීමේ දිනය දිගු කාලසීමාවක් පැවති නව තයිරොක්සින් පෙති තොගයක් පැමිණීම නිසා, මෙම කල් ඉකුත් වීමට ආසන්න තයිරොක්සින් තොගය භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් ඒකකය කටයුතු කොට ඇත. මෙම ප්‍රශ්න සහගත ඖෂධ තොගයේ කල් ඉකුත් වීමේ දිනය 2017 වර්ෂයේ ජුනි ලෙස සටහන්ව තිබී ඇත.

මේ හරහා රජයට සිදුවූ මූල්‍ය අලාභය සම්බන්ධයෙන් විගණනය මගින් පරීක්ෂාවෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මූලික විමර්ශනයක් සිදුකොට ඇත. මෙම මූලික විමර්ශනයේදී, මෙම තයිරොක්සින් තොගය භාර ගැනීමට උපදෙස් ලබා දුන්නා වූ ඉහළ නිලධාරීන් මගහැර, එම තොගය භාරගන්නා ලද පහළ නිලධාරීන්ට පමණක් චෝදනා පත්‍ර නිකුත් කිරීමට කටයුතු කර තිබූ බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top