ගම්පහ බබා සහ නුගේගොඩ බබී රහස් වමාරති.. බායිට ලක්ෂ 65ක් දී හොර පාස්පෝට් හදා ඉෂාරා යුරෝපයට යවන්න පද්මේ පොරොන්දු වෙලා…
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සැලසුමේ මහ මොළකාරියක ලෙස ඉෂාරා සෙව්වන්දි කටයුතු කර ඇත්තේ ඇය යුරෝපයේ රටකට යැවීමට කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදුන් පොරොන්දුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත.
සංජීව ඝාතනය වෙනුවෙන් ඉෂාරා කිසිදු මුදලක් ලබාගෙන නොමැති අතර ඇයගේ එකම සිහිනය වී ඇත්තේ යුරෝපයේ රටකට යෑමය. ඒ සඳහා කෙහෙල්බද්දර පද්මේ පොරොන්දුවක් ලබාදීම සහ සංජීව ඝාතනයේ මෙරට සැලසුම්කාරිය ලෙස ඇය කටයුතු කර තිබූ බවද මේ වනවිට අනාවරණය වී තිබේ.
සංජීව ඝාතන සැලසුම සඳහා ඉෂාරාගේ සහාය පද්මේ විසින් ලබාගෙන ඇත්තේ ඇයගේ සිහිනය සැබෑ කරදීමට පොරොන්දු වීමෙන් පසුවය.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු නේපාලයේදී අත්අඩංගුවට ගත් 06 දෙනාම දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගෙන ඇත.
මේ අතර නේපාලයේ සිට කෙහෙල්බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බව කියන ‘ගම්පහ බබා’ නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේදී ටී 56 උණ්ඩ 50ක් සොයාගෙන ඇත.
මෙම ජීව උණ්ඩ තොගය කඳාන කෙරවළපිටිය අධිවේගී පිවිසුමේ කණුවක් අසල තිබී සොයාගෙන තිබෙන අතර පද්මේ විසින් ගම්පහ ඔස්මන් නමැත්තා ඝාතනය කිරීමට මෙම උණ්ඩ ලබාදී ඇති බවට ‘බබා’ නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. අදාළ පතොරම් තොගය වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගණේමුල්ල සංජීව ඝාතනයට අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබාදුන් බවට මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 52 හැවිරිදි කාන්තාව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
බස්නාහිර දකුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු සහ චමින්ද සිල්වා
Source – Lanka C News
