සංගීත් එක්ක ඉන්න අලුත් ලස්සන මුහුණ… සමහරවිට ඔබ එහෙම හිතනවා ඇති… ඇය විශාරද සංජී වීරසිංහ… රුව ගුණ වගේම දක්ශතා රැසක් මිටින් අරගෙන ඉපදුණු සංජී හරිම මිහිරි සරින් ගී ගයන්නියක්…
සුබ දවසක්! මම සතුටින් ඉන්නවා…. මගේ ජීවිතේට උදාවෙන හැම දවසකටම ස්තූතිවන්ත වෙමින්…
මම සංගීත් විජේසූරිය සමග ලස්සන යුග ගීතයක් කරා. ඒක මට හීනයක් වගේ. ලඟදිම එළි දක්වනවා.
ඇත්තටම සංජී වීරසිංහ කියන්නේ කවුද?
ම්…මම ආසයි මාව “ගායිකාවක්” විදියට හඳුන්වන්න. පරණ ගී තනු වෙනස් නොකර ඒ රසය ඒ ආකාරයෙන්ම රැකගෙන ගායනා කරන්නියක්. ඒ වගේම මම ආදරණීය අම්මා කෙනෙක්… මගේ ජිවිතේ හැමදේම මගේ පුංචි පුතා.. මම සොබාදමට ආදරේ කරන කලාවට හුඟාක් ආදරේ කරන කෙනෙක් විදිහට මාව හදුන්වන්න මම කැමතියි… මීට අමතරව මම සංගීත විශාරදවරියක්.
ඔයාව අපි හඳුනගන්නවා ගායිකාවක් වගේම ගී පද රචකාවියක් විදියට.. කලා ලෝකයේ වෙනස් විදිහේ ගමනක් යන සුන්දර කාන්තාවක් විදියට… ගායනය ඔබේ වෘත්තිය නෙවෙයි ඇත්තටම ඔබේ වෘත්තිය මොකක්ද?
මම Premium රථවාහන ආයතනයක Car Sales Manager. ඒ කියන්නේ… අධි සුඛෝපභෝගී මෝටර් රථ – අලෙවි කළමණාකාරවරියක්…
ඔබ ගායනයට පිවිසියේ කොහොමද?
මා මගේ පියා සේ සලකන ආදරණීය ගුරුතුමා අර්නස්ට් සොයිසා මාර්ගයෙන්, ඉන්පසුව BLAK KOFFi Band Partner ප්රසන්න අලුත්ගේ නිසා…
ගායිකාවක් විදියට ක්ෂේත්රයට එන එක පහසු වුණාද? මොනවද ඔයාට මුහුණ දෙන්න සිදු වෙච්ච අභියෝග?
මීට වසර 4-5කට පෙර තිබුණටත් වඩා අද සංගීත කලාව, සංදර්ශන බොහෝ වෙනස්. අද Negative Marketingවලින් ඉක්මනින් ප්රසිද්ධ විය හැකියි, නමුත් ගෞරවය නොලැබේවි. සංයමයකින් ගීත ගායනා කරමින් තමන්ගේ ගීත Market කරගැනීම අභියෝගයක්.
ඔයා හරිම ලස්සනයි මේ සුන්දරත්වයට රහසක් තියෙනවද? ඒ කියන්නේ ඔයා ලස්සන වෙන්න මොන වගේ දේවල්ද විශේෂයෙන්ම කරන්නේ?
මම මාව මනසින් දකින්නෙ සුන්දර කෙනෙක් ලෙස. කණ්නාඩියක් දුටු තැන මම මාවම නරඹලා මම ලස්සනයි කියල මමම හිතාගන්නවා….
මීට අමතරව මම නිතර කුරුම්බා වතුර, පොල් වතුර බොනවා. නිතර පිරිසිදුව සිටිනවා…
සමහර සිහින තියෙනවා..ජීවිත කාලයම හැබෑ කරගන්න බැරි වෙයි කියලා අපි හිතන… ඒත් ඔබ ඒ සියල්ලම අභියෝගයට ලක් කළ කෙනෙක්.. ඔබ ඉතාම කාර්යබහුල දිවි පෙවෙතක් අස්සේ… ඔබේ සිහින සොයා යන්නියක්… සිහින සැබෑ කරගන්න ආසාවෙන් ඉන්න අයට ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ?
සිහින හඹායන්න. අතරමැද බාධා ආවොත් ඒ ගැන සිතමින් දුක් නොවී වෙනත් මාර්ගයකින් තමන්ගේ සිහිනය ඉටුකරගන්න. මම මෙතන වෙනත් මාර්ගයක් කියලා අදහස් කළේ යහපත් විදිහට අලුත් පාරක් හොයා ගන්න කියන එක…කුණාටුව මැද්දේ වුණත් මම අදහනවා ගොඩට යන්න මගක් තිබෙනවා කියලා… නිතරම අවධානයෙන් ඉන්න තමන්ගේ සිහින ගැන. පුංචි හීනයක් තමයි දවසක ලොකු කතාවක් වෙන්නේ…
ඔයාගේ ජීවිතේ ඔයා වැඩිපුරම ආදරේ කරන්නේ කාටද?
මගේ කුඩා දරුවට… ඒ මගේ පුංචි පණ… මගේ පුතුගෙ හිනාව තමයි මට තියෙන ලොකුම සතුට. මම පුතුගෙ කිරි බෝතලය හදනකම් පුතු තොටිල්ලෙ වාඩිවෙලා තොටිල්ලෙ කූරු අස්සෙන් මා දිහා උනන්දුවෙන් බලා ඉන්නවා . අපි තොට්ල්ල තියල තියෙන්නේ ගෙයි මැද සාලෙ. මම ගෙයින් පිට ගියාමත් පුතුගෙ ඒ බැල්ම මට මතක් වෙනවා.
සංජි අපි කැමති ඔයාගේ පවුලේ විස්තර දැනගන්න?
අපි ඉන්නෙ නුගේගොඩ. මගේ පවුලේ ඉන්නේ මගේ සැමියා, මගේ මව සහ මගේ කුඩා පුතුයි. මගේ ආච්චි ඉන්නෙ ගමේ. සැමියා සහ මගේ මව මගේ සංගීත ගමනට දිරිය දෙනවා. මා නිවසේ නොමැති විට මගේ දරුවාව ආදරයෙන් බලාගන්නෙ මගේ මවයි. මගේ මව මා වෙනුවෙන් විශාල කැපකිරීමක් කරනවා.
ඔයාගේ කලා ජීවිතය ඇතුලේ සිදුවුණු අමතක කරන්න බැරි සිදුවීම මොකක්ද?
හද පාරවන සිදුවීම් 2ක් තියෙනවා, ඉන් එකක් කියන්නම්…
මම පාසලේදි ඉගෙනගත්තෙ චිත්ර. නමුත් සංගීත ගුරුතුමා නිතර ඇසුරු කරා, එතුමා තේකහට බොන වෙලේට මටත් තලගුලි වැනි දෙයක් දෙන නිසා. සංගීත ගුරුතුමා සහ චිත්ර ගුරුතුමා ගජ මිතුරො. දෙන්නම පාසලට ආවෙ පාපැදියෙන්. අනෙක් ගුරුවරු බසයෙන්, යතුරු පැදිවලින් හෝ කාර්වලින් ආවේ. මම මගේ මුල්ම කාර් රථයෙන් කොළඹ සිට ගමට එද්දි සංගීත සර් පාපැදියෙන් මගේ ඉදිරියට ආවා.
සර්ගෙ ඇස් දිළිසුනා සතුටට තමන්ගේ ගෝලයගෙ කාර් එක දැකල. (මගේ කාර් එකත් පරණ කාරයක්). ඒත් මට එදා කිසිම වැටහීමක් තිබුණේ නෑ සර් වෙනුවෙන් කිරිපිටි පැකට් එකක් හෝ අරන් දීමට. පසුව මම සංගීතය හදාරණ විට ඔවුන් දෙදෙනා මතක් වී , ඔවුන්ව බැලීමට යාමට සිතුවා තෑගි අරන්. එතකොට ඔවුන් දෙදෙනාම අසනීප වී මිය ගොස් සිටියා.
කිසිම යුතුකමක් ඔවුන් වෙනුවෙන් කළ නොහැකි වීම ගැන මා කම්පා වුණා. නමුත් ගිය අවුරුද්දේ ඔවුන් දෙදෙනාම එකතුව නිර්මාණ කළ වෙසක් බැති ගීතයක් මා විසින් නිශ්පාදනය
කර එතුමන් දෙදෙනාගේ නම් පළ කළා. මේ ගීතය ගැයීමට මම T.M. ජයරත්න මහත්මයාවත් සහභාගි කර ගත්තා.
සංජී වීරසිංහ කියන ඔයාගේ ෆේස්බුක් පිටුවේ .. ඔයාට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා… ඒ අයට ඔයාට මොනවද කියන්න තියෙන්නේ?
මම වඩාත් active ඉන්නෙ Facebook. ඉතින් මගේ ආදරණීය Followersලා මගේ ගීත අහනවා. මම ලියන දේ කියවනවා සහ එයාලා ඒවාට නිතරම Comment කරනවා….ඒ අය හැමදාම මගේ හදවතේ ඉන්නවා….
එහෙමනම්… ඔයාගේ සංගීත දිවියට අපෙන් සුබ පැතුම්… සංජී…
ස්තුතියි…
Hiru Gossip

