මාකඳුරේ මධුෂ්ට වෙඩි තැබූ තුවක්කුකරු මේ වන තෙක් කවුද යන්න තහවුරු වී නැතත් ගණේමුල්ල සංජීව වෙඩි තබා මරා දැමූ තැනැත්තා පැය 8ක් යන්නටද මත්තෙන් කොටුකර ගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමත් වූහ. ඒ ඔහු පුත්තලම හරහා ඉන්දියාවට පලායෑමට ගමන් කරමින් සිටියදීය. පත්‍රය මුද්‍රණයට යන මොහොත වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසය හෙවත් සී.සී.ඩී.යේ නිලධාරීහු වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියහ.
මෙම ප්‍රශ්න කිරීමේදී මේ වන විට අනාවරණය වී ඇත්තේ ගණේමුල්ලේ සංජීවට එරෙහි පාර්ශ්වයේ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් තුන්කට්ටුවකගේ මෙහෙයවීම මත ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කර ඇති බවය. මෙහි ප්‍රධානතම මෙහෙයුම්කරු බවට සැලකෙන්නේ කෙහෙල්බද්දර පද්මේ නමැත්තාය. අනෙකා කමාන්ඩෝ සලින්දය. අනෙක් තැනැත්තා අවිශ්කය. බටුවත්තේ සමීර නමැත්තාද ගණේමුල්ල සංජීව ඝාතන සැලැස්මේ සිටින බවට තොරතුරු ලැබී ඇතත් එය තහවුරු වී නැත.
කෙහෙල්බද්දර පද්මේ විසින් ලබාදෙනු ලැබූ කොන්ත්‍රාත්තුව මත ගණේමුල්ලේ සංජීවට වෙඩි තබා මරා දැමූ බවට තොරතුරු විමර්ශන නිලධාරීන් මේ වන විට හෙළි කරගෙන අවසානය.
කෙහෙල්බද්දර පද්මේ – ගණේමුල්ල සංජීව ආරවුල ඇරැඹෙන්නේ මීට වසර කිහිපයකට පෙර සිටය. එම ආරවුල උග්‍ර වන්නේ පද්මේගේ පියා වූ නෙවිල් නමැත්තා සංජීව විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය. ඒ මීට වසර 7කට පෙරය. එම වෙඩි තැබීම සිදුවන්නේ ගම්පහ ‘’පස් මාෆියාවේ’’ ප්‍රතිඵලයක් ලෙසය. තම පියා වෙඩි තබා මරා දැමීමත් සමඟ සිය ජීවිතයටද ගණේමුල්ල සංජීව විසින් හානියක් සිදු කරනු ඇතැයි සැක කළ පද්මේ ඩුබායි රාජ්‍ය වෙත පලා ගියේය.
එහිදි හීනටියන මහේෂ් සමඟ එකතු වූ පද්මේගේ එකම අභිලාෂය වූයේ තම පියා මරා දැමූ ගණේමුල්ල සංජීව කවදා කෙසේ හෝ වෙඩි තබා ඝාතනය කිරීමය. කෙහෙල්බද්දර පද්මේ එරට සිටම සංජීවට මේ ගැන අනතුරු ඇඟවීය. එහි ප්‍රතිඵලයක් ලෙස සංජීවගේ සමීපතමයන් කිහිපදෙනකුම පද්මේගේ තුවක්කුකරුවන් විසින් වෙඩි තබා මරා දමනු ලැබිණි. පස් පොඩ්ඩාද එවන් අයෙකි. ගම්පහ පස් මාෆියාවේ ප්‍රබලයකු වූ පස් පොඩ්ඩා, පස් මාෆියාව තමන් සතු කරගන්නට මහත් වෙහෙසක් දැරීය.
පරිසර නීතිය තඹ සතේකටවත් මායිම් නොකරමින් පොලිසියේ සහ එම ප්‍රදේශවල වැජඹුණු ඇතැම් දේශපාලනඥයන්ගේ සහයෝගයෙන් ගොඩකිරීමට තහනම් වූ වගුරු බිම්, බලපත්‍ර නොමැතිව කපන ලද පස් කඳු, ලයිසන් නැතිව සිදුකළ පස් ප්‍රවාහනයෙන් මොවුන් කෝටි ගණනින් මුදල් හරිහම්බ කරගත්තේ තමන්ට එරෙහිවූ පුද්ගලයන්ද වෙඩි තබා ඝාතනය කරමිනි.
අසිත මරා දැමීමට පස් පොඩ්ඩා සැලසුම් සකස් කළේ ඔය නිසාය. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ අසිත ඒ වන විට මීගමුව බන්ධනාගාරයේ රැඳී සිටීම නිසාය. අවසානයේ අසිත බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙන එන දිනයක වෙඩි තබා මරා දැමීමට සැලසුම් කෙරිණි. 2005 දෙසැම්බර් මස 26 වැනිදා අසිත නඩුවකට ඉදිරිපත් කරලීම සඳහා බන්ධනාගාර බස් රියෙන් රැගෙන එද්දී ගම්පහ, අස්ගිරිය කළු පාලම මතදී ටිපර් රථයක් බන්ධනාගාර බස් රිය හරස්කොට නතර කෙරිණි. ඒ සමඟම බස් රිය වෙත එල්ල වූයේ දැවැන්ත වෙඩි ප්රහාරයකි. කෙසේ වෙතත් අසිතගේ ජීවිතයට හානියක් නොවුණද බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුට ජීවිත අහිමි විය. එම ප්‍රහාරය එල්ල කිරීම මත පස් පොඩ්ඩා අත්අඩංගුවට ගැනිණි.
සංජීවගේ සහ පස් පොඩ්ඩාගේ අවිගත් කණ්ඩායමක් පද්මේ සොයා ඔහුගේ නිවෙසට කඩා වදින්නේ ඔය අතරවාරයේය. ඒ පද්මේ මරා දැමීම ඉලක්ක කරගෙනය. මේ බව දැනගත් පද්මේ සිය නිවෙස පිටුපස දොරෙන් එළියට පැන්නේය. පද්මේ සොයා නිවෙස පීරුවද ඔහු හමුනොවූ තැන තුවක්කුකරුවෝ නිවෙසේ සිටි පද්මේගේ පියා වූ නෙවිල් වෙඩි තබා මරා දැමූහ. කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යය වෙත පලායන්නේ ඉන් පසුවය.
බන්ධනාගාර ගතව සිටි ඔහු 2019 වසරේ ඇප ලබා ගැනීමෙන් පසු මන්නාරමට පැමිණ බෝට්ටුවක් මාර්ගයෙන් ඉන්දියාවට පැන යන්නේ ජීවිතයට ඇති මරණ තර්ජනය නිසාය. ඉන්දියාවේ දින කිහිපයක් රැඳී සිටි ඔහු එතැනින් නේපාලය බලා පලා ගියේය. ඒ ව්‍යාජ ලෙස සකස් කෙරුණු ගුවන්ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙනය. මේ සියල්ලම කෙහෙල්බද්දර පද්මේ හොඳින් දැන සිටියේය. තම පියා වෙඩි තබා මරා දැමූ ආකාරය පද්මේගෙ යටි සිතෙන් මැකී ගියේ නැත.
ඒ සඳහා දිනයක් එන තුරු ඔහු ඇඟිලි ගැන්නේය.
ඒ බව ඔහු සමීපතම මිතුරන්ට මෙන්ම මාධ්යකරුවන්ටද කීවේය.
“සංජීව මටත් වෙඩි තියන්න හැදුවා. සංජීවගේ සිහිනය තිබුණේ ගෝඩ්ෆාදර් වෙන්න. ඔස්මන්ට වෙඩි තිබ්බා. උදම්මිට සමරේට වෙඩි තිබ්බා. සමරේ මැරුණා. කඩවත ගෑනු කෙනෙක්ට වෙඩි තිබ්බා. ඒ ගෑනු කෙනත් මැරුණා. කළු අජිත්ට කියලා ජා-ඇළදී ගෑනු කෙනෙක්ට වෙඩි තිබ්බා. ඒ ගෑනු කෙනා මැරුණා. අපේ ගෙවල් ඉස්සරහා සැලුන් එකකට ඇවිල්ලා අහිංසක අවුරුදු 21ක කොල්ලෙක් මැරුවා. හාඩ්වෙයාර් මුදලාලි කෙනෙක්ට වෙඩි තිබ්බා. එයත් මැරුණා.
කොළ කැඳ බිබී ඉන්න ගිහාන් කියන කෙනාටත් වෙඩි තිබ්බා. එයා මැරුණා. මේ එක්කෙනෙක්වත් මැරෙන හේතුව දන්නේ නැහැ.
මට ප්රශ්නය තියෙන්නේ සංජීවත් එක්ක මගේ තාත්තා මරපු එකට වඩා අහිංසක මිනිස්සු මරන එකයි. එයා මානසික ලෙඩෙක් වගේ. බලමු ඔය විදිහට ගියොත් සංජීවට මොකද වෙන්නේ කියලා. අපිත් මේ විදිහට මැරෙයි. හැබැයි සංජීවට කියන්න තියෙන්නේ මෙච්චරයි. සංජීව මට හම්බවුණොත් මම මරනවා. කොහේ හිටියත් මම මරනවා. ඒකෙ වචන දෙකක් නැහැ. එහෙම මරන්නෙත් ලෝකේ තියෙන දස වදම දීලා…”
කෙහෙල්බද්දර පද්මේ ගණේමුල්ලේ සංජීව මරා දමන බවට මෙලෙස තර්ජනය කර තිබිණි. ඒ අනුව පෙනී යන්නේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ඔහුගේ සමීපතමයන්ගේ එකම ඉලක්කයව තිබුණේ ගණේමුල්ල සංජීව බවය. තම පියා අමු අමුවේ වෙඩි තබා මරා දැමීම මෙන්ම තමාව ඝාතනය කිරීමට තුවක්කුකරුවන් යෙදවීමට ගණේමුල්ලේ සංජීව ක්‍රියාකිරීම ගැන පද්මේගේ යටි සිතේ තිබූ වෛරය නිතරම පැහැවන්නට විය.
ගණේමුල්ල සංජීව නේපාලයේ කත්මණ්ඩු ගුවන්තොටුපොළේ සිට ගුවන් මඟින් මෙරටට එන්නේ පද්මේගේ සිතේ පැහැවූ වෛරය තිබියදීය. කෙසේ වෙතත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මඟින් මෙරටට පැමිණීම මත සංජීව ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය. පසුව අපරාධ වාර්තා කොට්ඨාසයේ ඇති ඇඟිලි සලකුණු සමඟ සන්සන්දනය කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණේමුල්ල සංජීව බවට තහවුරු කර ගැනීමෙන් පසුවය. සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා භාර කෙරිණි. එහිදී දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරුණු ඔහු, පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ රඳවන ලදී.
ගණේමුල්ල සංජීව ඝාතනයට කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාර්ශ්වය සැලසුම් කරන්නේ එදා පටන්ය. ඒ මීට වසර දෙකකට පෙර සිටය. බූස්සේ රඳවා සිටි සංජීව ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සඳහා බොහෝ විට පෙනී සිටියේ ස්කයිප් තාක්ෂණය ඔස්සේය. ඒ නිසා ඔහුව ඝාතනය කිරීම එතරම් පහසු වූයේ නැත. මේ කරුණු කාරණා සියල්ලම කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාර්ශ්වය දැන ගත්හ. බන්ධනාගාර ගතව සිටින සිය සමීපතමයන් මාර්ගයෙන් ඇතුළේ තත්ත්වය ඔවුන් නිරන්තරයෙන් විමසා බැලීය.
සංජීව නඩු කටයුත්තක් සඳහා බන්ධනාගාරයෙන් පිටතට ගෙන එන දිනය උදාවන තෙක් ඔවුහු ඇඟිලි ගැන්නහ. බූස්සේ සිට කොළඹ අලුත්කඩේ අධිකරණයට සංජීව ගෙන එන තුරු පද්මේ පාර්ශ්වය සිහින දැක්කේය. සංජීවට ගහන්න එතරම් ලෙහෙසි නොවන බව ඔවුහු දැනගත්හ. ඒ ඔහු වටා ගිනි අවි සහිත එස්.ටී.එෆ්. භටයන් සිටින නිසාය. ඔවුන් සැලසුම් සහගත ලෙස ප්‍රහාරයක් එල්ල කළහොත් තම සගයන්ටද මැරුම් කන්නට සිදුවන බව කෙහෙල්බද්දර පද්මේලා දැනගත්හ.
සංජීව ඉකුත් 19 වැනිදා නඩු කිහිපයක් සඳහා මෙලෙස අලුත්කඩේ ගෙන එන බව පද්මේ පාර්ශ්වයට ‘’ඔත්තුව’’ ලැබුණේ ඔය අතරය. “හරි… අපි එදාට ඌට ගහමු. හැබැයි ලොකු රිස්ක් එකක්. උසාවිය ඇතුළට ගිහින් තමයි ගහන්න වෙන්නේ. එළියේ එස්.ටී.එෆ්. එකත් ඉන්නවා. ගහලා පැනලා යන එක ලෙහෙසි නැහැ. මැරෙන්නත් පුළුවන්.” අධිකරණ භුමිය තුළ පුද්ගලයකුට වෙඩි තබා පලා යෑම දැඩි ගැටලුසහගත ක්‍රියාවක් බව පද්මේ පාර්ශ්වය දැනගත්තේය. එහෙත් දක්ෂ වෙඩික්කරුවකුට එය එතරම් අසීරු නොවන්නේය.
ලොකු ගාණක් දුන්නොත් එකෙක් හොයා ගන්න පුළුවන්. හැබැයි නූලට ප්ලෑන් කරලා තමයි ගහන්න ඕනේ.
සැලසුම සකස් වූයේ ඔය අතරය. තුවක්කුකරු ලෙස තෝරා ගැනුණේ යුද හමුදා කමාන්ඩෝ බළකායේ කලක් රාජකාරි කළ සමිඳු දිල්ෂාන්ය. ඔහු මහරගම, දබහේන පදිංචිකරුවෙකි. ඔහු සමහරු කමාන්ඩෝ සමිඳු ලෙසද හැඳින්වූහ. කොන්ත්‍රාත්තුව ලක්ෂ 150කි. කමාන්ඩෝ සමිඳුට සහාය දීම සඳහා තරුණියක්ද තෝරා ගැනිණි. ඇය සෙව්වන්දි නමැත්තියකි. ඇය කෙහෙල්බද්දර පද්මේගේ හිතවතියකි. එමෙන්ම සමිඳුද දන්නා කියන තරුණියකි. ඇයට ලැබී තිබූ සැලැස්මට අනුව කරන්නට තිබුණේ කිසිවකු විසින් ලබාදෙන පිස්තෝල අවිය උසාවි සංකීර්ණයට ගොස් කමාන්ඩෝ සමිඳු අතට පත් කිරීම පමණි.
ඒ අනුව ඔවුනට නියම වූයේ 14 වැනිදා හමුවී මීගමුව ප්‍රදේශයට නුදුරු හෝටලයක අඹු-සැමියන් ලෙස නවාතැන් ගන්නා ලෙසය. 18 වැනිදා කොළඹට නුදුරු මරදාන කාමරයකට පැමිණෙන ඔවුන්ට 19 වැනිදා උදෑසන නීතිඥයකු ලෙස සැරසී අධිකරණයට යන ලෙසටත් නියෝග ලැබී තිබිණි. ඔවුන් අධිකරණයට යන්නේ කුලියට ලබාගත් මෝටර් රථයකිනි. වෙඩික්කරු හා කාන්තාව එම රථයට ගොඩ විය. නීතිඥ සංගමයේ ලාංඡනයද ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කර ඇතැයි කියයි.
කිසියම් අපහසුතාවකින් තොරව අධිකරණයට යෑම සඳහා නීතිඥ හැඳුනුම්පතක්ද තුවක්කුකරුට ලබාදී තිබූ අතර එහි සඳහන් වූයේ ව්‍යාජ තොරතුරුය.
වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ ඩුබායි රාජ්‍ය සමඟ දිගින් දිගටම සබඳකම් පැවැත්වූ ඔවුන් ඉකුත් 19 වැනිදා උදෑසන අලුත්කඩේ සංකීර්ණය වෙත පැමිණෙන අතර එදින ගණේමුල්ල සංජීව උසාවියට ඉදිරිපත් කරන බව පද්මේ පාර්ශ්වය හොඳින්ම දැනගෙන සිටියේය. ඒ බන්ධනාගාර තුළ සිටින ඔත්තුකරුවන් මාර්ගයෙනි. සෙව්වන්දියද නීතිඥ කාන්තාවක් සේ වෙස්ගෙන අධිකරණයට පැමිණෙන අතර ඊට ප්‍රථම අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළත් පොතක කුහරයක තැන්පත් කර තිබූ පිස්තෝලය ඇයට කිසිවකු විසින් ලබාදී ඇතැයි කියයි.
පසුව අධිකරණ භූමිය තුළදී ඇය එම අවිය කමාන්ඩෝ සමිඳුට ලබාදී ඇති බවත් කියැවේ. පිස්තෝලය ඉණේ සඟවාගන්නා තුවක්කුකරු අධිකරණ ශාලාවේ සෙසු නීතිඥවරුන් සමඟ නීතිඥවරයකු ලෙස හැසිරෙමින් සංජීව සමීපයේම සිටින අතර දෙවැනි නඩුවට සංජීව කැඳවූ මොහොතේ ඔහුගෙන් ප්‍රශ්නයක් ඇසීමට මෙන් නැඟිට ගොස් ඔහු ඉලක්ක කොට වෙඩි කිහිපයක් තබා ඇත.
ඝාතකයා සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ එස්.ටී.එෆ්. සේනාංක විමර්ශන ආරම්භ කළ අතර ඔවුන් විමර්ශන මෙහෙයවූයේ සී.සී.ටී.වී. කැමරා දත්ත උපයෝගී කර ගනිමිනි. ඝාතකයා නීතිඥ වෙස්ගත් පුද්ගලයකු වූ කිසිදු මුහුණු ආවරණයක් පැලඳ නොසිටීම නිසා ඔහු හඳුනා ගැනීමටත් විමර්ශන නිලධාරීන් සමත් වුවද අධිකරණ භූමියට කිසිවකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි වන සේ සෝදිසි මෙහෙයුමක් කළද ඝාතකයා මෙන්ම ඔහුට සහාය දුන් සෙව්වන්දියද ඒ වන විට ආරක්ෂක දැල් අතරින් රිංගා ගොස් තිබිණි.
පසුව දිගින් දිගටම සිදුකළ විමර්ශනයෙන් පසු විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියකුට ලැබුණු තොරතුරකට අනුව තුවක්කුකරු හලාවත, පුත්තලම කල්පිටිය ඔස්සේ ඉන්දියාවට පැන යෑමට ඇති ඉඩකඩ අහුරමින් පුත්තලම, පාලවිය හන්දියේදී මාර්ග බාධකයක් යොදවනු ලැබූ අතර එහිදී සැකසහිත කේ.ඩී.එච්. වාහනයක් සම්බන්ධයෙන් කළ සෝදිසියකදී නීතිඥ හැඳුනුම්පතක් ඉදිරිපත් කරමින් තමා නීතිඥයකු බව පැවැසූ සුදු පැහැති ඇඳුම්වලින් සැරසුණු තරුණයකුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු ගණේමුල්ල සංජිවගේ ඝාතකයා බවට තහවුරු කර ගත හැකි විණි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තවත් කරුණු කාරණා රැසක් හෙළිදරවු වී තිබේ.ඒ අනුව හෙළිවන්නේ වෙඩි තැබීම සිදුකිරීමෙන් පසු අධිකරණ භූමියෙන් පිටතට පැමිණි මොහොතේ ඔවුන් දෙදෙනා රැගෙන පලායෑම සඳහා ඝාතනය මෙහෙයවූ පාර්ශ්ව විසින් වාහනයක්ද ඒ අසල සූදානම් කර තිබූ බවය. එහෙත් එවන් වාහනයක් සොයා ගැනීමට නොහැකිවූ තුවක්කුකරු වෙනත් කුලී රථයකින් සෙව්වන්දිය සමඟ මීගමුව තෙක් පැමිණ ඇති අතර නිමි ඇඳුම් ආයතනයකට ගොස් ඇඳුම් කිහිපයක් මිලදී ගෙන එම ඇඳුම්වලින් සැරසී ඇති බවය. පසුව ඔවුන් දෙදෙනා වෙන්වී ගොස් තිබේ.
සුදු ඇඳුමෙන් සැරසුණු ඝාතකයා ඔහු වෙඩි තැබීම සිදුකළ මොහොතේ සැරසී සිටි ඇඳුම, ටයි පටිය බැගයක දමා කොච්චිකඩේ ප්‍රදේශයට විසිකර දමා ඇති අතර පසුව සූදානම් කර තිබූ කේ.ඩී.එච්. වර්ගයේ රථයක නැඟගත් ඔහු පද්මේගේ සැලැස්මට අනුව ඉන්දියාව බලා පැන යෑමට සූදානම්ව සිට ඇත.
ඔහු පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ ඒ අතරය. තුවක්කුකරු ඩුබායි රාජ්‍යයේ සිටින කමාන්ඩෝ ලසින්ත නමැත්තා සමඟ ජංගම දුරකථනය ඔස්සේ ඍජු සබඳතා ගණේමුල්ල සංජීව ඝාතනය කර තිබේ. ලසින්තගේ වට්ස් ඇප් අංකය ඔහු සටහන් කරගෙන තිබුණේ නීතිඥවරයකු ලෙස අඟවන පුද්ගලයකුගේ නමිනි. ලසින්ත මෙන්ම සමිඳුද හිටපු කමාන්ඩෝ සෙබළුන්වීම නිසා මෙම මිත්‍රත්වය ඇතිව තිබේ. කලක් එහි සේවය කළ සමිඳු පසුව පොදු සමා කාලයේදී එම බළකායෙන් නීත්‍යනුකුලව ඉවත්ව තිබේ. එහෙත් ලසින්ත සමඟ තිබු සබඳකම් නතර නොවී ඇත.
ලසින්තගේ මාර්ගයෙන් කෙහෙල්බද්දර පද්මේ සහ තම්මිට අවිශ්ක සමඟද සබඳතා පැවැත්වූ මොහුට ව්‍යාජ නීතිඥ හැඳුනුම්පත සකස් කර දී ඇත්තේද අවිශ්ක විසිනි.
මේ අතර වෙඩික්කරු රැගෙන වෑන් රථයෙන් පලා යමින් සිටි බබා නමැති රියැදුරාද අත්අඩංගුවට ගත් නිලධාරීන් රඳවා ගැනීමේ නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු අතර තුවක්කුකරුට පලායෑම සඳහා කේ.ඩී.එච්. වැන් රිය ලබාදී තිබුණේ කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත බවටද අනාවරණය කර ගැනීමට හැකි විණි.
මේ අතර තුවක්කුකරුට ගිනි අවි ලබා දෙමින් ඔහු සමඟ ඝාතනය සැලසුම් කළ මහමොළකාරිය වූ මිනුවන්ගොඩ, කටුවැල්ලේගම පදිංචි 26 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කෙරුණු අතර ඇය මීගමුවට නුදුරු තැනකින් බැසගිය බව පමණක් තුවක්කුකරු දැන තිබිණි.
වැඩිදුර කරන ලද විමර්ශනයේදී ඇය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක් බවට හෙළිවූ අතර ඇගේ සැමියාද බන්ධනාගාර ගතව සිටින බව කියයි. ඒ පිස්තෝල ගිනි අවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මතය. ඇයද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගතව ඇපමත මුදාහැරුණු තැනැත්තියකි.
ඉකුත් 24 වැනිදා ඇය විදෙස් ගතවන බව කියමින් කටුවැල්ලේගම නිවෙසින් පිටව ගොස් ඇති අතර ඉන් පසුව ඇය යළි නිවෙසට ගොස් නැත.
මේ අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසියද මහජන සහාය පැතූ අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයකුට පොලිස්පති ත්‍යාග අරමුදලෙන් ත්‍යාග මුදලක් පිරිනැමීමටද වැඩබලන පොලිස්පති තීරණය කර තිබිණි.
කෙසේ වෙතත් තුවක්කුකරු වූ සමිඳු දිල්ෂාන්ගේ ප්‍රශ්න කිරීමෙන් ලබාගත් තොරතුරු මත ඇගේ ජංගම දුරකථන අංකයට ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තාවට අනුව ඇය සමඟ කතා බස් කළ මීගමුව පොලිස් අපරාධ අංශයේ පොලිස් කොස්තාපල්වරයකුගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කර තිබිණි.
සැකකාර කාන්තාව සෑම මසකම අවසන් ඉරුදින මීගමුව පොලිසියේ අස්සන් තැබිය යුතු තැනැත්තියක් වූ බැවින් ඇය ඒ සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියා සමඟ දුරකථන සංවාදයක යෙදී ඇතැයි කියති.
කෙසේ වෙතත් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන තුවක්කුකරු වූ සමිඳු දිල්ෂාන් නමැත්තා නම් කිහිපයකින්ම පෙනී සිටින තැනැත්තකු බවත් පසුගිය ජනවාරි 7දා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුකළ ද්විත්ව ඝාතනයේද තුවක්කුකරු මොහු බව ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ. සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන අතර ඔහු සහ කෙහෙල්බද්දර පාර්ශ්වය අතර තිබූ සබඳතාව සම්බන්ධ තොරතුරු රැසක්ද මේ වන විට අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ.
එහෙත් ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකාරිය ලෙස සැලකෙන කාන්තාව පත්‍රය මුද්‍රණයට යන මොහොත වන තුරුම අත්අඩංගුවට ගෙන නොතිබීම විමර්ශනයට මහත් ගැටලුවක් වී තිබේ. ඇය රැඳුණු තැන් සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ කණ්ඩායමක් විමර්ශන පැවැත්වුවද මෙතෙක් ඇය සොයා ගැනීමට හැකිවී නැත. ගණේමුල්ල සංජීව මරා දැමීම සඳහා පිස්තෝලය ලැබුණු ආකාරය දැනගැනීම සඳහා ඇගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතව ඇති අතර සංජීව ඝාතනයේ සැලසුම තවතවත් අනාවරණය කර ගැනීම සඳහා හිටපු කමාන්ඩෝ සෙබළකු මෙන්ම ත්‍රිරෝද රථ රියැදුරකු වූ මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කදනාරච්චි (27) සහ වෑන් රථ රියැදුරා වු මහේෂ් සම්පත් ප්‍රියදර්ශන (44) හෙවත් බබාගෙන් විමර්ශන නිලධාරීහු මේ වන විට ප්‍රශ්න කරමින් සිටිති.
