කෙසෙල්වත්ත පොලිස් වසමේ පීර් සයිබු වීදියේ නිවසක ඊයේ (13) පස්වරුවේ දෙවන මහලින් පහළට පැන දරුවෙකු තුවාල ලැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
මෙම දරුවා ඊයේ සිය නිවසේ සිට ඔහුගේ නිවස ආසන්නයේ පදිංචි කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ පීර් සයිබු වීදියේ වෙළඳසැලකට පැමිණි අවස්ථාවේ එම වෙළඳසැල ආසන්නයේ පිහිටි තෙමහල් නිවසක යකඩ ගේට්ටුවට මෙම දරුවා තට්ටු කර ඇති බවත්, එයට උරණ වූ නිවසේ පදිංචි පුද්ගලයෙකු ඉහත දරුවා බලහත්කාරයෙන් නිවස තුලට ඔසවාගෙන ගොස් දෙවනි මහලේ කාමරයකට දමා සිර කර ඇති බවටත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
එහිදී බියට පත් වූ දරුවා එම කාමරයේ ජනේලයක් විවෘතකරගෙන බිමට පැනීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති බවටයි පොලිසිය විසින් සිදුකල විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, මෙම අපරාධයට ආධාර අනුබල දුන් වයස අවුරුදු 59 ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
