කකුල් දෙකම බිඳී ගොස් රෝදපුටුවකට වැටුන ජීවිතයට අභියෝග කර ලෝකය දිනාගත් තරුණයා

අසංක හදිරම්පෑල –

ජාත්‍යාන්තර ක්‍රිකට් දිවියෙන් සමුගත් නිකොලස් පූරාන් ගැන කාටත් අමතක කතාව…

නිකලස් පූරන් පසුගියදා (10) ජාත්‍යන්තර ක්‍රිකට් වලට සමුදුන්නා. අද ලොව වටා ප්‍රේක්ෂකයන්ගේ උසුළු විසුළු වලට ලක්වෙනවා. මගේ මතයට අනුව ඔහු මෙහෙමවත් ක්‍රිකට් ගහපු එක විශාල ජයග්‍රහණයක්.
“දැන් ඉතින් සල්ලි වලට ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ගහයි”, “20-20 ක්‍රිකට් ගහපු කෙනෙක් පොරක්ද?”, වගේ අදහස් දැක්වීම් වලින් තමයි ගොඩක් දෙනා පූරන්ට හිනාවෙන්නේ. ඒත් යොවුන් කාලේ සිදුවුණු රිය අනතුරකින් කකුල් දෙකම කැඩුණු නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් වලට ආපු විදිහ ගැන ගොඩක් දෙනාට මතක නෑ.

“මම පුහුණුවීම් වලින් පස්සේ වැරදි පාරක ගෙදර එමින් හිටියේ. කවුරුහරි මාව හැප්පුවා.” පූරන්ගේ නිජබිම වන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ට්‍රිනිඩෑඩ් රාජ්‍යය එතරම් සාමකාමී බිමක් නොවෙයි. අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයන් සහ පාතාල සාමාජිකයින්ගේ නොයෙක් ක්‍රියාකාරකම් වලට ප්‍රසිද්ධියක් උසුලන කොදෙව් දූපත් වලින් ජාත්‍යන්තර තලයට එන ඕනෑම ක්‍රීඩකයෙකු සුවිශේෂීයි. ඔවුන්ට හරියට පඩි ගෙවන්නේවත් නෑ. ඒත් රිය අනතුරකට ලක්වෙනකොට පූරන් ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු නොවෙයි. පූරන්ට තමන්ගේ ක්‍රිකට් අනාගතය ගැන බය හිතුණා.

“මට එච්චර මතකයක් නැහැ. කාරෙකේ හැප්පෙනකොටම මට ඇහැරුණා. පස්සේ ගිලන් රථයක් ඇවිත් මාව රෝහලට අරන් ගියා. මම ලොකු වේදනාවක හිටියේ. මට ඕන වුනේ ඔවුන් මගේ සිහිය නැති කරලා දාන එක විතරයි.”

“මම ඊළඟ දවසේ නැගිටිනකොට මගේ කකුල් දෙකම ආධාරක දෙකකින් තමයි තිබුණේ. ඒවා හිරිවැටිලා තිබුණේ. මට පොඩ්ඩක්වත් ඒවා තියෙනවා කියලවත් දැනුණේ නැහැ. මම රෝහලේ හිටපු දවස් 12ටම මම හිටියේ වේදනා නාශක ගනිමින්”, කාලෙකට කලින් ඩේලි මේල් වෙබ් අඩවියට පූරන් කියලා තිබුණා.

“වෛද්‍යවරයා කිව්වා මම නැවත ක්‍රිකට් ක්‍රීඩා කරන එක ගැන ඔහුට සහතිකයක් දෙන්න බෑ කියලා. මම නැවත හරියට දුවයි ද කියලවත් ඔහුට සහතිකයක් තිබුණේ නැහැ. මගේ බ්ලඩ් ප්‍රෙෂර් (රුධිර පීඩනය) එකත් වැඩි වුනා. මං හිටියේ කරදරෙන්. මම දෙවියන්ට යාච්ඤා කරමින් හිටියා. ඒකෙන් තමයි මම ජීවත් වුණේ”, ඔහු කිව්වා.

ඔහුගේ වම් දණහිස් පොල්කට්ට බිඳී තිබුණා. දකුණු කකුලේ වළලුකර බිඳී තිබුණා. ඔහු මාස 06ක් රෝද පුටුවකට වැටුණා. ඒකෙන් නැගිටින්න ඔහුට ගොඩක් මහන්සි වෙන්න සිදුවුණා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන මට්ටමට ශරීරය ගෙන එන්න ඔහුට කවදාවත් පුළුවන් වුණේ නෑ.

“ප්‍රතිකාර වලට යද්දී මානසිකව ඒක ගොඩක් අමාරු වුනා. මුලදී මගේ මාංශ පේශී ගොඩක් දුර්වල වෙලා තිබුණේ. ඒ නිසා මුලින්ම මට මගේ දණහිසේ මාංශ පේශී ශක්තිමත් කරගන්න වුනා. පස්සේ චිකිත්සකවරයාට ඒක නමන්න වුනා, මොකද ඒක නැමුණේම නැහැ. ඒක ලොකු වේදනාවක්”, ඔහු මතකය අවධි කළා.

“මට නැවත ක්‍රීඩා කරන්න බැරි වෙයි කියලා හිතුණු හැමවෙලේම, මාව නැවත එතෙන්ට ගෙනියන්න පුළුවන් මගේම හිතටයි කියලා මම මට කියාගත්තා. ඒක මම විශ්වාස කළා”, ඔහු ඔහුත් එක්කම ඔහුගේ පෙම්වතිය සහ පවුලත් ඒ ගැන විශ්වාස කරන්නන් ලෙස පවත්වා ගන්නට කටයුතු කළා. ඔහු කිව්වේ වයස අවුරුදු 21 දී තමන් බටහිර ඉන්දීය කොදෙව් ජාත්‍යන්තර කණ්ඩායමට ක්‍රීඩා කරන බවයි.

2016 දී ඔහු බලාපොරොත්තු වූ අවස්ථාව උදාවුණා. කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට අවශ්‍යව තිබුනේ 20-20 ක්‍රීඩකයෙකු නිසා ශරීර ශක්තියෙන් ඕවර 40කට විතර සූදානම් වෙලා හිටපු පූරන්ට 20-20 ක්‍රිකට් හොඳින් ගැළපුණා.
එතනින් පටන්ගත්තු ගමන අවසන් වෙනකොට, එක්දින තරග 61කදී 99.2ක ප්‍රහාරක වේගයක් එක්ක 39.9ක ලකුණු සාමාන්‍යයක් පවත්වගන්න පූරන් සමත් වුණා. 136.4ක ප්‍රහාරක වේගයක් එක්ක ලකුණු 26.1ක සාමාන්‍යයක් තියාගෙන 20-20 ජාත්‍යන්තර තරග 106කට ක්‍රීඩා කළා. IPL සාමාන්‍යය 34.2යි. ප්‍රහාරක වේගය 169යි. 20-20 ජාත්‍යන්තර තරග වලදී බින්දුවට නොදැවී වැඩිම ඉනිම් ගණනක් (71) ක්‍රීඩා කළවුන් අතර ඔහු තුන්වැන්නා. වැඩිම 20-20 ජාත්‍යන්තර හයේ පහරවල් වාර්තා කළවුන් (149) අතර පස්වැන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top