පොළොන්නරුව වැලිකන්ද නගරයට (23) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක්, නගරයේ අලුතින් ඉදිකර තිබූ වෙළඳ සංකීර්ණයේ දොරවල් රැසකට හානිකර නගරයේ තවත් වෙළඳසැල් විශාල ප්රමාණයකට හානි සිදුකර පලාගොස් ඇති බව වැලි කන්ද නගරවාසීහු සඳහන් කරති.
නිරන්තරයෙන් වැලිකන්ද නගරයට රාත්රී කාලයේ පැමිණෙන මෙම වන රංචු තමන්ගේ වෙළඳසැල්වලට දැඩි ලෙස හානි සිදුකරන බවත් අලුතින් ඉදිකරන ලද වෙළඳසංකීර්ණයේද දොරවල් විශාල ප්රමාණයකට දැඩි අලහභානි සිදුකර ඇති බවද වෙළඳසැල් හිමියෝ ප්රකාශ කරති.
මෙම තත්ත්වය හමුවේ තමන්ට වෙළඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවවා පමණක් නොව, ජන ජීවිතය ද අවුල් සහගත වී ඇති පවසන නගර වාසීහු වැලිකන්ද නගරයට නිරන්තරයෙන් පැමිණෙන වන අලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

අලි මිනිස් ගැටුම සහ වැලිකන්ද නගරයට නිරන්තරයෙන් වන අලි පැමිණීම පිළිබඳව අප වැලිකන්ද වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ වැලිකන්ද නගරයට පමණක් නොව අවට ගම්මාන රැසකට වන අලි පැමිණෙන්නේ අලින්ගේ වාසස්ථාන මිනිසුන් විසින් විනාශ කිරීම නිසා බවය.
