අපේ සිනමාවේ දශක ගණනාවක් කිරුළ දැරූ නිළි රැජිණ මාලිනී ෆොන්සේකා ගැන අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ.
විජය කුමාරතුංග ගැන මතකය එදා නැවතත් ඇය අවදි කර තිබුණේ මේ විදියට….
විජය කුමාරතුංගයන් සමඟ එදා ඔබේ විවාහය සිදු වුණා නම්?
එහෙම නම්…(ඇය කල්පනා කරයි….) එක එක්කෙනාගෙන් අහන්න ඕනෙ ඒක. (සිනාවක් සමඟ) එක එක හේතු තිබෙනවා ඒක වැළකෙන්න. ඒත් විවාහය සිදු වුණා නම්… (වේගයෙන් වචන ගළපා) ගොඩාක් දේවල් වෙනස් වෙන්න තිබුණා.
මගේ රංගන ජීවිතය, විජයගේ රංගන ජීවිතය, විජයගේ දේශපාලන ජීවිතය, විජයගේ පෞද්ගලික ජීවිතය, මගේ පෞද්ගලික ජීවිතය වෙනස් වෙන්න තිබුණා. ඒත් ඉතින් ඒක සිද්ධ වෙන්න තිබුණු විදිහ නේද? ඒක වළක්වන්න බෑ. ගොඩක් දේවල් ගැන කතා කරද්දි අපි කතා කරන්න හොඳ නැති දේවලුත් තිබෙනවානේ. විශේෂයෙන් දේශපාලනය ගැන. අපේ රටේ දේශපාලන තත්ත්වය විජයට බලපෑවා, අපේ විවාහය වෙනස් වුණ නිසා. ඒක ඉතින් මගෙත් විජයගෙත් අපේ රටෙත් දෛවය.
ඔබේ හදවතේ කොතැනද අද විජය කුමාරතුංගයන් රැඳී ඉන්නේ?
(සිනාවක් සමඟ දෙබැම ඔසවා මදෙස බලමින්) හරිම අපහසුයි ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න… (විරාමයක් ගෙන) අපි ජීවිතේ යම් කාලයක් ජීවත් වෙද්දි ඒ අතීත මතකයන් බොහොම වැදගත්. අතීතයේ සිදු වන දේවල් අතරින් විජයගෙයි මගෙයි මතක ගොඩාක් ඉතිරිව තිබෙනවා. ජීවිතය පවතින තුරු විශේෂ තැනක් තිබෙනවා ඒවාට. ඉතින් එහෙම තැනක් තමයි තිබෙන්නේ.

