මිනිස්සු වැරදියට හිතන එක හරි ගස්සන්න යන එකේ මාහා වෙහෙස අත ඇරලා මම දැන් ගොඩාක් කල්. විශාල මුදලක් වැය කරලා පඩි ගෙවලා නැන්දාගෙ අභාවයෙන් පස්සෙ මගේ කඳුලු වල ඇත්ත නැත්ත හොයන ලිට්මස් පරීක්ෂාවට මාව ලක් කරපු ආණ්ඩු විරෝධී social media campaign එකේ ගින්නෙන් දැවෙමින් හිටපු සුළු පිරිස, දැන් ටිකක් නිවිලා හින්දයි මම මේක ලියන්න හිතුවෙ. එක එක pages වලින් posts හදලා ඒවට profile lock කරගත්ත fake accounts වලින් comment කරලා ‘ජන මතය’ මේකයි කියලා පෙන්නලා, කුඩා පිරිසකගෙ හරි හිත ආයිත් නම්ම ගන්න හදන යාචකයින් ගැන ඇති වෙන්නෙ අනුකම්පාවක්. කිසිම රටක විපක්ෂයක් මේ තරම් අසරණ වෙන්න හොඳ නැහැ.
රජය විසින් කරන කිසිඳු විමර්ශනයට බලපෑමක් කරන්න කිසිම පුරවැසියෙක්ට අයිතියක් නැහැ කියන දෙය මාව විවේචනය කරන, අපහාස කරන, අභියෝග කරන සියල්ල මතකතබා ගත යුතුයි. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි අපි ඉතිහාසය පුරාම වැඩ කළේ.
මම නැන්දා වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කළා, තව පුළුවන් උනා නම් හොඳයි. මට ලැබුන හැම අවස්ථාවකදිම මම නැන්දව ආදරෙන් බලාගත්තා, නවලෝක රෝහලේ නේවාසිකව ඉද්දි නැන්දා ලඟ නතර වෙලා එයාට සත්කාර කළා. නින්ද යන්නැහැ එයාට එකම විදිහට ඉද්දි. ඉතිං රෑට ලස්සන music, සිංදු දානවා මම. උදෙන්ම මූණ සෝදලා, කොණ්ඩෙ පීරලා, ඇහිබැම චුට්ටක් හදලා, පවුඩර් දාන්න ඕනෙ එයාට. perfume දානවට හරිම ආසයි එයා. එකම විදිහට ඉද්දි ඇඟ රිදෙන නිසා නිතරම cream ගාලා කකුල්, අත් massage කරනවා මම. “අනේ ශා නිදාගන්න බබා…” කියලා කියනවා එයා මට. ලේ ගන්න කටු ගහනවට තමයි එයා බයම. ඒත් හැමදේම ඉවසීමෙන් දරාගෙන හිටියා. වේදනාව මැද්දෙනුත් එයා හිනා වෙලා හිටියා. දවසක් දෙකක් එන්න බැරි වුනොත් “කොහෙද බොල ගිහින් හිටියෙ?” කියලා නැන්දා අහන විදිහ මට දැනුත් මැවිලා පේනවා. ඉතිං, මගේ නැන්දා ගැන මගේ හිතේ තියෙන ආදරය, බැඳීම, මතක සුවිශාලයි. නැන්දා නැතිවුන වෙලාවෙ එයාව මුලින් දැක්කෙ මම, ජයරත්න එකේදි නැන්දව මුලින් පෙන්නුවෙ මට. ඒක නිසා මගේ කඳුලු වල බර මනින්න කිසිම කෙනෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ.
අපි ගොඩක් දේවල් බෙදාගෙන තියෙනවා. Dialysis කරන්න එක්කන් ගිය අන්තිම දවසෙ ‘ආකාස කුසුම්’ ආයිත් බලන්න ආසයි කිව්වා. ප්‍රසන්න මාමා එක්ක කතා කරලා film එක බලන්න Film hall එකට එක්කන් යන්න මම නැන්දට පොරොන්දු වුනා. ඒකෙ රඟපෑම් ගැන අපි යනකම්ම කතා කළා. නැන්දා ගැන documentary එකක් කරන්න දිලීප අබේසේකර ඇහුවා කිව්වහම, “දිලීප කරනව නන් කරමු…” කිව්වා. මේ සියල්ල බොහෝ බරැති මතක විතරයි දැන්. ඉතිං ඉදිරියටත් ඇය හා ගත කරපු මොහොතවල් වලදී ආදරය ගැන, රඟපෑම් ගැන, සම්බන්ධතා ගැන, ජීවතය ගැන ඇය සමඟ කතා කළ බොහෝ දේවල් මගේ ජීවතය පුරා සුරක්ෂිතව තියේවි.
අන්තිමට මට කියන්න තියෙන්නෙ අපි හැමෝටම දේශපාලන මතයක් තියෙනවා. එතනින් එහාට ගිහින් මම ක්‍රියාකාරීව ඒ වැඩවල නියැලෙනවා දැන් අවුරුදු 11ක විතර ඉඳන්. මම හිතනවා මගේ පවුලෙ අය සහ මාව විස්වාස කරන අය දන්නවා කියලා මම කලාව කරන්නෙත් දේශපාලනය කරන්නෙත් මගේ පෞද්ගලික වාසියට නෙවෙයි කියලා. බලය තියෙන කණ්ඩායමක්, පක්ෂයක් එක්ක නෙමෙයි මම දේශපාලන කතිකාවෙදි එකතු උනේ. රාජ්‍ය බලය බිංදුවක් වත් තිබ්බෙ නැති ජනතා ව්‍යාපාරයක් එක්කයි මම වැඩ කළේ. දැන් ඒ ජනතා ව්‍යාපාරයට රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. ඒත් එහෙම කියලා අපි ජීවත් වුන විදිහෙ කිසිම වෙනසක් වෙලා නැහැ. මගේ මේ දේශපාලන ආස්තානය වෙනස් වෙනවා නම් වෙන්නෙ මටවත්, මගේ නැන්දාටවත්, මගේ පවුලටවත් පුද්ගලික වාසි නොලැබුනා කියලා නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ට අපි විස්වාස කරපු ජීවිතය ලබාදෙන්න බැරි වුනොත් විතරයි. ඉතිං ඒ වෙනුවෙන් මම මගේ කලාව ඇතුලෙත්, සමාජීය ජීවතය ඇතුලෙත් දිගටම වැඩ කරනවා. මතවාදීව මොන පරස්පරකම් තිබ්බත්, මා සම්බන්ධයෙන්ද මගේ නැන්දට ඇතැමුන් ගෙන් කුමන ආකාරයේ දේවල් අහන්න ලැබුණත්, මගේ ලස්සන නිරහංකාර නැන්දා හැමදාම මං මේ හිමින් යන ගමන ගැන සතුටින් හිටියා කියලා මම දන්නවා…!
සමනලී.

