හොල්මන් ෆිල්ම් 70 කට වඩා රූගත කළ කොකු ගස් කැලෑවේ නොවිසඳුණු අභිරහස

පෝලන්තය ඉතාම සුන්දර සාමකාමී රටක්. සාමකාමී බව උතුරා යන තැනක අබිරහසක් ද පවතින බව ඔබ අසා ඇති. මෙය පෝලන්තයේ සමහර ස්ථාන වලටත් හරි අපූරුවට ගැළපී තියනවා.

ඉන් එකක් තමයි සුප්‍රසිද්ධ පෝලන්ත කොකු ගස් කැලෑව. සොබාදහමේ සුන්දරත්වය ද නොවිසදුණු අබිරහස් ද කැටි කොටගත් මේ කැලය පෝලන්තයේ උතුරු පොමරේනියාවේ ග්‍රයිෆිනෝහි පිහිටා තිබෙනවා.

මේ කැලය පුරාම තිබෙන්නේ එකම උසකින් සහ මහතකින් වැඩුණු පයින් ගස් විමානයක්. එහි මධ්‍යයට වන්නට තිබෙන ගස් වල ඉතා අසාමාන්‍ය ලක්ෂණයක් දක්නට තිබෙනවා.

ඒ තමයි එම ගස් පොළවේ සිට පටන් ගන්න ස්ථානයේ අඩි දෙකහමාරක් පමණ යනතෙක් ඉතා ම අසාමාන්‍ය ලෙස වකුටු වී පැවතීම. එය හරියටම දෑකැති තලයකට සමානයි. අඩි දෙකහමාරක් තුනක් පමණ වන තෙක් නැවී ගොස් තිබෙන මෙම පයින් ගස් වල කඳ ඉන් පසුව නැවත සාමාන්‍ය ආකාරයට කෙලින් වැවී තිබෙනවා.

මෙලෙස නැවී වැවුණු ගස් 400ක් පමණ මෙහි දක්නට ලැබෙනවා. ඒ වගේම මෙම සෑම ගසකම නැවීම ආරම්භ වන්නේ පොළවේ සිට අංශක 90ක කෝණයකින්. මෙයට හේතුව කුමක් ද? සත්‍යය ලෙසම අද මේ මොහොත වන තුරුත් ඊට පිළිතුරක් සර්ව සාධාරණ හෝ න්‍යායාත්මක ලෙස කිසිවෙකුත් සොයාගෙන නැත.

මේ පයින් ගස් සිටුවා තිබෙන්නේ වර්ෂ 1930 දී ය. එතැන් පටන් ඒ ගස් වලට නැවී වැවීමට තරම් හේතුවක් තිබූ බවක් කිසිම ලෙසකින් වාර්තා වී නැහැ. මේ ගස් බැලූ බැල්මට පෙනෙන්නේ පොළව මත සිට වූ ඉංග්‍රීසි J අකුරු ලෙසයි. මෙලෙස කඳ නැවීමට ඒවා ළපටි කාලයේ ලොකු බරක් ගස් මත තිබෙන්නට ඇති බව ඇතැමුන් පවසනවා.

මොකද පයින් යනු බෙහෙවින් නම්‍යශීලී කඳක් ඇති සවිමත් ශාක වර්ගයක්. එහෙත් ගැටලුවන් ම් එසේ කළේ කවුරුන්ද යන්නයි. කුමන හේතුවක් නිසාද යන්නයි. අනෙක් කාරණය නම් මෙලෙස J අකුරේ හැඩයට තිබෙන්නේ කැළයේ මැද කොටසේ පිහිටි ගස් පමණකි. එබැවින් එවන් දෙයක් සිදු කළේ කුමන අදහසකින් ද?

තවත් කොටසක් පවසන්නේ මේ ගස් පිටසක්වල ජීවීන්ට ස්ථානය හඳුනාගැනීමට තැබූ අද්භූත සංකේතයක් බවයි. එහෙත් ගස් උසට වැවුණු පසු එහි ඇති කොකු ස්වරූපය ඉහළ සිට දැකීමට නොහැකියි. එම නිසා ඒ මතයද ප්‍රතික්ෂේප වේ.

කවුරුන් කෙසේ කීවත් ස්වදේශික පෝලන්ත වැසියන් මෙම කොකුගස් කලාපය හඳුන්වන්නේ හොල්මන් පාරාදීසයක් ලෙසයි. ඒ ඇත්තටම වෙනත් කාරණයක්ම් ඒ සඳහා ආදේශ කළ නොහැකි නිසා. හොල්මන් තියා කුමන අද්භූත බලවේගයක් නිසා මෙම ගස් මෙලෙස වැවුණා වුණත් ඊට ලැබී තිබෙන මහජන ආකර්ෂණයේ නම් අඩුවක් දක්නට ලැබෙන්නේ නැහැ. වසරක් පාසා මෙම වනය නැරඹීමට අතිවිශාල පිරිසක් පෝලන්තයට පැමිණෙනවා.

හොල්මන් පිළිබඳ සිනමාව වෙත හොඳ තෝතැන්නක් වුණ මෙම කොකු වනය ආශ්‍රිතව හොල්මන් චිත්‍රපට 70කට අධික ප්‍රමාණයක් රූගත කර තිබෙනවා. කෙසේ වෙතත් කොකු කැලෑව ලෝකයට තවමත් අබිරහසකි. එය විසඳෙන දිනය මෑතක තිබේවියැයි කියන්නට බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top