පොළොන්නරුව ප්‍රදේශයේ අභය භූමියක සිටි කිරි ඉබ්බන් දහතුන්දෙනෙකු මරා ආහාරය සඳහා පිසීමට සූදානම් කර කළ කාන්තාවන් තිදෙනෙකු හා මරා දැමූ කිරි ඉබ්බන්ගේ මස්, පාද, ඔළු හා බිත්තර තොගයක් අද (24) දහවල් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා පුත්තලම හා මන්නාරම් ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව ඒ සම්බන්ධ පරීක්ෂණ කරන පොළොන්නරුව අඩවි ආරක්ෂක ආර්.ආර්.ශාන්ත අප කළ විමසීමකදී පැවසීය.
සැකකාර කාන්තාවන් තිදෙනා තමන්කඩුව 26 කනුව ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පොළක රැඳී සිටිමින් ප්‍රදේශයේ වෙළෙඳාම් කරන තිදෙනකු බවට තහවුරු වී ඇති බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක නවාතැන් ගනිමින් මෙම කිරී ඉබ්බන් දහතුන් දෙනා මරා ආහාර පිණිස පිසීමට සූදානම් කර සිටිය දී මෙම කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත් බවද වනජීවී නිලධාරින් පවසයි.
පොළොන්නරුව වන සත්ව අඩවි සහකාර, ආර්.ආර්,ශාන්ත, එම්.ආර්. ප්‍රියදර්ශන, ඒ.ඩී. වික්‍රමසිංහ. යන වනසත්ව අඩවි සහකාරවරුන්, සිවිල් ආරක්ෂක එම්. ඩී. චතුරංග, රියැදුරු ජේ.එස්.පී.ජයකොඩි යන නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.
– මනම්පිටිය නිමල් ජයරත්න
