වන අලි ප්‍රහාරයකින් මිය ගිය බව කී තරුණයාගේ මරණය මිනි මැරුමක් – පොලිසිය හෙළි කරගනී

දිනසේන රතුගමගේ –

වන අලියෙකු පහර දීම නිසා මියගොස් ඇති බවට සැකකළ මුලතිව් කොක්කුතුඩුවායී ප්‍රදේශයේ තරුණයාගේ මරණය පහරදීමකින් හා කපා කොටා දැමීමකින් සිදු වූ මරණයක් බවට කොක්කුතුඩුවායී පොලීසිය ඊයේ ( 9 ) තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

කොක්කුත්තොඩුවායි උතුරේ පදිංචි ජයරාජ් සුබරාජ් නම් 21 හැවිරිදි මොහු ධීවර කටයුතු සදහා රාත්‍රියේ පිටව ගොස් ආපසු උදැසන සිය යතුරු පැදියෙන් නිවස බලා එමින් සිටියදී අතර මග පාරක තිබූ ඔහුගේ මළ සිරුර හමු වී තිබුණි.

ඔහු නිවසට පැමිණීම ප්‍රමාද වූ අවස්ථාවේදී නිවසේ උදවිය ඔහු ගැන කළ සොයා බැලීමකදී මළ සිරුර හමු වි ඇති අතර මියගිය තරුණයාගේ පියා පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ වන අලියෙකුගේ පහරදීමකින් තම පුතා මියගොස් ඇති බවය.

මේ මාර්ගයේ වන අලින් බහුලව සිටින නිසා පියා පොලීසියට එසේ ප්‍රකාශ කොට ඇතත් පොලීසිය සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ කිසියම් පිරිසක් විසින් මොහුට පහර දී තියුණු ආයුධ වලින් කපා කොටා ඔහුව ඝාතනය කොට ඇති බවය.

සිද්ධිය වූ ස්ථානයට ගොස් ස්ථානිය මරණ පරීක්ෂණය සිදු කළ මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ප්‍රදීපන් ධර්මලිංගම් කීප දෙනෙකුගෙන් ලබා ගත් තොරතුරුවලින් පසුව අදාල පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු මෙහෙයවා එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසත් මරණය සම්බන්ධයෙන් වගකිවයුතු සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසත් නියෝග කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top