ළමා රෝහලේ වාට්ටු තුළ දරුවන්ට ලබා දෙන සෞන්දර්යාත්මක අධ්‍යාපනය ඉක්මන් සුවයට බලපාලා – විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ හෙළි කරයි!

ශ්‍රියානි විජේසිංහ –

රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ප්‍රතිකාර ලබා ගන්නා දරුවන්ට රෝහල් වාට්ටුව තුළදීම ලබා දෙන සෞන්දර්යාත්මක අධ්‍යාපන ක්‍රමවේදය හේතුවෙන් දරුවන්ගේ රෝග තත්තවය ඉකිමන් සුව වී නිවෙස් බලා යාමට හැකියාව ලැබෙන බව කරන ලද පර්යේෂණයන් මගින් තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යාපන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ සඳහන් කරයි.

ගුරුවරුන් 5 දෙනෙකු යොදා ගනිමින් මේ වන විට රෝහල තුළ මෙම පාසල පවත්වාගෙන යන බවත් එම ගුරුවරුන් වාට්ටු වෙතට පැමිණ අධ්‍යාපන ලබා දිය හැකි තත්වයේ පසුවන දරුවන් සොයා සිය අධ්‍යපානය සෞන්දර්යාත්මකව ලබා දීමට කටයුතු කරන බවත් වෛද්‍ය ලියනපතිරණ පැවසුවේය.

ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් වෙත යොමුකළ දරුවන්ට සෞන්දර්යාත්මක නිදහස්ව අධ්‍යාපනය ලබා දීමත් සමඟ එම දරුවන්ගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය සුභදායකව ක්‍රියාත්මක වී ඉක්මනින් සුවදායක තත්වයකට පත් වූ බව විශේෂඥවරුන් පෙන්වාදුන් බවද ඔහු පැවසුවේ.

එසේම සැත්කම්වලට ලක්වන දරුවන්, විවිධ අසාත්මිකතාවන් ලක්ව ප්‍රතිකාර ලබා ගන්නා දරුවන් ඇතුළු , විවිධ රෝගයන්ට ප්‍රතිකාර ලබා ගන්නා දරුවන් නිදහසේ සෞන්දර්යාත්මක අධ්‍යාපනය යොමු වීම තුළ ඉතා ඉක්මනින් සුව පත් වන බව හෙළිව ඇතැයි හෙතෙම සඳහන් කළේය.

රෝහල් වාට්ටුව තුළ ජංගම දුරකථන භාවිතය මුළුමනින්ම නතර කර ඇති බවත් ලැබෙන සුළු හෝ විවේකයක් තුළ දරුවන්ට කථාන්දර පොත් කියවීමට අවස්ථාව උදාකර දී ඇතිවා සේම දරුවාට කියවීමට අපහසුනම් දරවා ළඟ නතර වී සිටින මව හෝ භාරකරුවා දරුවාට ඇහෙන්න කථාන්දරයක් කියා දීමේ ක්‍රමයක්ද සැලසුම් කර ඇති බවත් හෙතෙම පැවසුවේය.

දරුවන් ඉක්මනින් සුව වී නිවෙස් බලා යාමට හැකිවීම හේතුවෙන් රෝහල තුළ පවතින අධික තදබදයද අවම කර ගත හැකි වනු ඇතිවාක් මෙන්ම එම දරුවාගේ නිවස තුළද යහපත් පරිසරයක් ගොඩනගා ගත හැකි බව පෙනී ගොස් ඇතැයිද මෙය දරුවන්ගේ මානසික හා කායික සංවර්ධනයට ඉතා යහපත්ව බලපාන්නා වූ වැඩපිළිවෙලක් බවද විශේෂඥ වෛද්‍ය අතුල ලියන පතිරණ පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top