“ඇල්ල පල්ලමේ දී බස් එකේ බ්‍රේ‍ක් නැති වුණා කියලා ඩ්‍රයිවර් කිව්වා, කවුරුත් ඒක ගණන් ගත්තෙ නැහැ. හැමෝම හිනා වුණා” – ඇල්ල බිහිසුණු බස් අනතුරේ ඇත්තම කතාව

“චාරිකාව අවසන් කරලා අපි වැල්ලවාය පැත්තට එනකොට ඇල්ල පල්ලමේදී බස් එකේ බ්‍රේක් නැති වුණා කියලා ඩ්‍රයිවර් කිව්වා.

කවුරුත් ඒක ගණන් ගත්තෙ නැහැ. හැමෝම හිනා වුණා. කිලෝමීටර් 3 ක් විතර දුර ඒ විදිහට බස් එක පල්ලමේ එද්දි එක වංගුවකදී බස් එක ඉස්සරහින් ආව ජීප් එකේ හැප්පිලා වම් පැත්තෙ මහා ප්‍රපාතයට පෙරලුණා. මම හිතුවා ඉවරයි කියලා. ඇස් ඇරලා බලද්දි තාමත් ජීවත් වෙනවා” ඒ ඇල්ල බස් අනතුරින් දිවි ගලවා ගත් තරුණයෙක් කියන කතාව.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේදී පෙරේදා (04 වැනිදා) රාත්‍රි සිදුවූ බස් රථ අනතුරින් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් පහළොස් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර දහ අට දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කරනු ලැබ සිටිනවා.

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් සිය පවුලේ සාමාජිකයන් සමග ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරත වී ආපසු නිවෙස් බලා යමින් සිටියදී මෙම ඛේදවාචකය සිදු වුණා.

අනතුරින් මියගිය පුද්ගලයන්ගෙන් 12 දෙනකුම තංගල්ල නගර සභාවේ සේවය කරන අය බව හඳුනාගෙන තිබෙනවා.

තංගල්ල නගර සභාවේ ලේකම් ටී. ඩබ්ලිව්. ජී. රූපසේන මහතා ද මියගිය අය අතර සිටින බවයි පොලිසිය පවසන්නේ.

අනතුරින් මියගිය අයගෙන් නව දෙනෙක් කාන්තාවන් වන අතර හය දෙනෙක් පිරිමි පුද්ගලයන්.

ඒ අතර කුඩා දරුවන් දෙදෙනකු ද සිටින අතර බස් රථයේ රියැදුරු වන 25 හැවිරිදි ශිවාන් දිමන්ත තරුණයා ද මෙහිදී මියගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 18 දෙනකු බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතර පිරිමි පුද්ගලයන් 06 දෙනකු කාන්තාවන් 05 දෙනකු පිරිමි දරුවන් තිදෙනකු සහ ගැහැනු දරුවන් දෙදෙනකු සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

ඉන් තුවාල කරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බව සදහන්.

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වැනි සැතපුම් කණුව ආසන්නයේ අඩි 650 ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට බස් රථය පෙරළී යෑමෙන් මෙම මාරක රිය අනතුර සිදුවුණා.

මෙම පිරිස පෙරේදා උදෑසන ඇල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් තිබිණි. චාරිකාව නිමකර පිරිස ආපසු වැල්ලවාය බලා ඒමට පිටත්වූ අතර ඇල්ල ප්‍රදේශය පසුකරන විට රාත්‍රි 9.00 පසුවිය.

ඒ අවස්ථාවේ බස් රථය වේගයෙන් ධාවනය කර ඇති අතර එකවරම එහි රියදුරු පවසා ඇත්තේ බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවන බවයි. එහෙත් බස් රථයේ සහායකයා සහ එහි ගමන් ගත් පිරිස එය ගණනකට ගෙන නැත.

බස් රථය 24 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ඉදිරියෙන් පැමිණි ඩිස්කවරි ජීප් රථයක පසුපස කොටසේ ගැටී ඇති අතර එය පාලනය කරගත නොහැකිව ගොස් ප්‍රපාතයකට පෙරළී ඇත.

අනතුරුට ලක්වූ ජීප් රථයේ සිටි පිරිස මෙම බස් අනතුර පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කර තිබේ. පසුව වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් මෙම අනතුර පිළිබඳව පොලිසියට සහ අවට පිහිටි හමුදා කඳවුරුවලට දැනුම් දී ඇත.

බස් රථය ඇද වැටුණු ප්‍රපාතය පහළට ගමන් කිරීම දැඩි අපහසු විය. ඝන අන්ධකාරය නිසා තුවාලකරුවන් රැගෙන ඒම ද පහසු කටයුත්තක් වී නැත.

පසුව ප්‍රදේශවාසීහු ෆෑෂ් ලයිට් සහ විදුලි පහන් ගෙනැවිත් බස් රථය අනතුරට ලක්වූ ප්‍රපාතය වෙත යොමුකර තුවාලකරුවන් ඉහළ මාර්ගය වෙත ගෙන ඒමට කටයුතු කළහ.

පොලිසිය, ගලවා ගැනීමේ හමුදාව, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ප්‍රපාතය පතුලේ සිටි තුවාලකරුවන් ඉහළට ගෙනැවිත් ඔවුන් රෝහල් කරා යැවීමට කටයුතු කර ඇත.

මෙහිදී තුවාලකරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වූ හමුදා සාමාජිකයන් දෙදෙනෙක්ද කඹ ආධාරයෙන් පහළට බසිද්දී ඇද වැටීමෙන් ඔවුහු බරපතළ තුවාල ලැබූහ. එම හමුදා සෙබළුන් දෙදෙනා ද රෝහල්ගත කිරීමට කටයුතු කර තිබිණි.

අනතුරට ලක්වූ බස් රථයේ 30 දෙනකු ගමන් කර ඇති අතර අනතුරින් බස් රථය මුළුමනින්ම විනාශයට පත්වී ඇත.

මේ අතර අදාළ බස් රථය 2023 වසරේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් වූ බස් රථයක් බවද වාර්තා වෙනවා.

අදාළ බස් රථය පරීක්ෂා කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බව සදහන්.

ඊට අමතරව ප්‍රවාහන වෛද්‍ය සභාවේ සහ මාර්ග අරක්ෂාව පිළිබඳව වැඩසටහනට අනුයුක්ත ප්‍රවාහන අමාත්‍යාංශ නිලධාරීන් කණ්ඩායමක්ද අද දිනයේ අනතුරට පත් බස්රථය පරීක්ෂා කිරීම සඳහා ඇල්ල ප්‍රදේශයට පැමිණෙන බවද සදහන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top