සූරියවැව වන අලි ප්‍රහාරය – වන අලියා පන්නාගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ මළ සිරුරත් වනය තුළ දී හමුවෙයි!

සූරියවැව නුවන් ජයසේකර –

සුරියවැව දී එක් පුද්ගලයෙක් ඝාතනය කරමින් එල්ල වු වන අලි ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වී සිටි පුද්ගලයාගේ මළසිරුර ද අද පෙරවරුවේ සොයා ගෙන තිබිණි. ඒ සිරුර සොයා ගන්නේ සිද්ධිය වී එක් පුද්ගලයෙක් මරා දැමූ ස්ථානයේ සිට කිලෝමීටර බාගයක් පමණ දුරින් කැලේ තුළට වන්නටය.

දැනට විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ මේ වන අලියා සූරියවැව මහගල්වැව පරණ රන්මුදුවැව මාර්ගයේදී ඊයේ රාත්‍රියේ යතුරු පැදියෙන් සිය වගාව ආරක්ෂා කරගැනීම සඳහා යමින් සිටි පුද්ගලයින් දෙදෙනාට පහර දීමෙන් පසු එක් පුද්ගලයෙක් එතැනම යතුරු පැදිය සමග වැටී ඇති බවත් අනෙක් තැනැත්තාගේ කකුල බිඳී ගිය ද ඔහු ස්ථානයෙන් පලා ගොස් ඇති බවත්ය.

පහර දීමෙන් පසු යතුරුපැදිය සමග බිම වැටුණු පුද්ගලයා පාගා මරා දමා අනතුරුව පලා ගිය පුද්ගලයා හඹා ගොස් මෙම වන අලියා එම පුද්ගලයාව ද ඝාතනය කර ඇති බව ය.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් සිටි මහසෙන්පුර, සූරියවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන අමරකෝන් කංකානම්ගේ ප්‍රේමරත්න සහ මහගල්වැව ප්‍රදේශයේම පදිංචි වන්නි ආරච්චි කංකානම්ගේ ගුණපාල නමැති (60) ගොවීන් දෙදෙනෙකි.

සිද්දිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ දිනපතාම සවස හය පමණ වන විට මෙම ගම්මාන වලට වන අලින් කඩා වදින බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරින් කොතෙකුත් දැනුවත් කර ඇති බවත් ඊට මෙතෙක් කිසිවෙකුත් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවත්ය. වන අලි සිටින කැලෑ මේ වන විටත් විවිධ කැලෑ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ නිසා වන අලින් නිතර නිතර ගම් වදින බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top