දෙහිවල Zoo එකේ පරෙවි සොරකමක්

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ රඳවා සිටි පරෙවියන් 32 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 4 වැනිදා අලුයම් කාලයේදී සොරකම් කර ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.

සතුන් රඳවා සිටි කූඩුව බිඳ දැමීමෙන් මෙම සොරකම සිදුකර ඇති බවට වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය විසින් එදිනම දහවල් කාලයේදී දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙලෙස සොරකම් කර ඇත්තේ, නඩු භාණ්ඩයක් ලෙස මෑතකදී සත්වෝද්‍යානය වෙත භාරදුන් පරෙවි තොගයකට අයත් සතුන් පිරිසකි. ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස බෝට්ටු මගින් මෙරටට රැගෙන එමින් සිටියදී පසුගිය ජූලි මාසයේදී පොලිස් භාරයට ගැනුණු මෙම පරෙවියන්,

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත පසුගිය අගෝස්තු මස 2 වැනි දින දෙහිවල සත්වෝද්‍යානයට භාරදී තිබිණි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හෝ සොරකම් කරන ලද පරෙවියන් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරන අතර, දෙහිවල පොලිසිය විසින් මෙම සොරකම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top