හැමෝම හිනාවුණා මගේ කෙසඟ ඇඟට – කොහොම හරි ඇඟ හැඩට හදාගත්තා

නිලුක්ෂි අමන්දා සිල්වා එහෙමත් නැත්නම් නිලුක්ෂි අමන්දා ප්‍රේක්ෂකයන් අතරට ආවේ ‘විසුල අහස යට’ ටෙලිනාට්‍යය හරහාය. රංගනයට අමතරව නිරූපණ කලාව වගේම නර්තන කලාවටද ඇලුම් කරන ඈ මේ දිනවල ‘එලද බ්‍රා’ සිනමා පටය තුළින්ද කතාබහට ලක්ව සිටින්නීය. සමාජ මාධ්‍ය හරහාද ජනප්‍රිය චරිතයක් වන නිලුක්ෂි තම හදවතින්ම කෙටි කතාබහක යෙදෙන්නට ‘හාට්’ එකට පැමිණියේ මේ විදියටයි.Sri Lanka Latest News

ඉතින් නිලුක්ෂි කොහොමද මේ දවස්වල ජීවිතේ?
ජීවිතේ හරිම ලස්සනට සුන්දරව ගෙවිලා යනවා. සතුටින් අපි ඊට මුහුණ දෙනවා.
අපි කියලා බහුවචනයෙන් කිව්වේ මොකෝ?
මම නොකියා අපි කියලා කිව්වේ මමයි මගේ හස්බන්ඩ් ගැනයි. එහෙම වුණාම ඉතින් අපි වෙනවනේ.
ආරංචියි අපට ඔයාලා දෙන්නා හරිම සුන්දර විවාහයක් තුළ දවස ගෙවනවා කියලා?
සත්තකින්ම ඔව්. ජීවිතය ඇත්තටම මේ හැටිම සුන්දරයිද කියලා හිතෙන තරමට මමයි මගෙ මහත්තයයි අපේ විවාහ බැඳීමක් එක්ක ජීවත් වෙනවා අපි. අපි දෙන්නා තේරුම් ගන්නවා. අපිට සවන් දෙනවා. අපේ හෙට දවස ගැන කතා කරනවා.
ඒ අතර උපන්දින පාටියකුත් සැමරුවා කියලා ආරංචියි?
ඔව්. හස්බන්ඩ්ගේ උපන්දිනේ වැටුණනේ පෝය දවසේ. නිවාඩු පාඩුවේ අපි දෙන්නා ඒක චාමෙට සැමරුවා.
මැරි කළාට පස්සේ ආපු පළමු උපන්දින පාටිය ටිකක් ලොකුවට ගන්න හිතුවෙ නැද්ද?
අපි දෙන්නම සරලකමට හරි මනාපයි. ලොකුවට පාටි තියන්න හිතුවෙ නැහැ. පෝය දවසක් වෙච්ච නිසා අපි පන්සල් ගියා. දෙන්නම එකතු වෙලා රස කේක් එකක් හදලා, කපලා රසට කෑවා. ගෙදරම ඉඳන් මූවි එකක් බලලා බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළා.
ඇත්තටම ඔයා කිව්වා වගේ ජීවිතේ හරි සුන්දරයි නේද නිලක්ෂි?
විවාහය කියන බැඳීම තුළ වයිෆ් ඇන්ඩ් හස්බන්ඩ් තම තමන්ව තේරුම් ගැනීම නිවැරැදිව කරනවා නම් එකිනෙකාට සවන් දෙනවා නම් ජීවිතේ ලස්සනට ගෙවන්න පුළුවන්.
හොඳයි අපි දැන් පවුල ගැන කතාබහෙන් ටිකක් එහාට යමු. ඔබ කලාව තුළ ක්ෂේත්‍ර කිහිපයකම නියැළෙනවා නේද?
ඔව්. මම නිරූපණ ශිල්පිනියක්, ඒ වගේම නර්තන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.
වැඩිය කැමැති රංගනයට කිව්වොත් හරි නේද?
නැහැ. මම වැඩිපුරම කැමැති මා තුළ ඉන්න නර්තන ශිල්පිනියටයි. මම මුලින්ම කළේ නර්තනය. පුංචි කාලේ ඉඳන් කළේ නර්තනය හදාරන එකයි. මට අද වගේ මතකයි මමයි නංගියි කුලසිරි බුදවත්ත සර්ගේ ඩාන්සින් ක්ලාස් එකට යනවා. අපේ ගෙවල් තිබුණේ එල්ෆින්ස්ටන් එක ළඟ. මම නංගිවත් එක්කගෙන පයින්ම තමයි ක්ලාස් එකට ගියේ.
ඉන් පස්සේ අවුරුදු 16දී මොඩර්න් බැලේ ඉගෙන ගත්තා කපිල පලිහවඩන සර් ළඟ. ඒ නර්තනය හරහා තමයි රංගනයටත් නිරූපණයටත් දෙකටම යොමු වුණේ. ඒ වගේම මගේ ෆිගර් එක හදාගත්තෙත් ඩාන්සින්වලින්ම තමයි.
ඩාන්සර් කෙනෙක් වෙන්නද නිලක්ෂි හීන මැව්වේ?
හීන නම් එහෙම ලොකුවට තිබුණේ නැහැ. හැබැයි මෙහෙම කතාවක් කියන්න තියෙනවා. ඉස්කෝලෙ යන කාලේ මම හරිම කෙසඟ කෙල්ලක්. යාළුවෝ පුංචිම කාලේ ඉඳන් මට හිනාවෙනවා ‘අයියෝ ඔයා හරි කෙට්ටුයි නේද?’ කියලා. යාළුවො විතරක් නෙවෙයි දකින කවුරුත් එහෙමයි. මේ කාරණය මට ලොකු දුකක් වුණා.
ඒත් මම ලෙහෙසියෙන් වැටෙන කෙනෙක් නෙවෙයි නිසා ඒ දුක පැත්තකට දාලා හිතන්න ගත්තා. ඔය අතර තමයි ෆැෂන් ටීවී එක බලන්න ගත්තේ. තාත්තට හොරෙන් බැලුවෙ. මොකද ඒක මොඩ්ලින් ප්‍රෝග්‍රෑම් යන එකක් නිසා පොඩි ළමයින්ට බලන්න දෙයක් ඒකෙ තිබුණේ නැහැ.

ඒකේ මොඩ්ලින්වලට ඉන්න ගර්ල්ස්ලව දැක්කම මට හිතුණා මගේ කෙට්ටුව මොකක්ද කියලා. යාළුවො මට හිනාවෙන එකත් විහිළුවක් වුණා. අන්න එතැනදී මම මගේ කෙට්ටු ඇඟ හැඩකර ගන්න හිතුවා. එතැනින් ඩාන්සින්වලට යොමුවුණා. ඒක හීනයක් හැබෑකර ගන්න හිතලා කරපු දෙයක්ම නෙවෙයි. හැබැයි නර්තනය හරහා බොහෝ ඉසව්වලට යන මාර්ගය ඉබේටම ආවා.
ඔබේ පළමු ටෙලිය ‘විසුල අහස යට’?
ඒක පාලිත මහීරත්න අයියගේ ආරාධනය මත කරපු නිර්මාණයක්. පවුල ගොඩගන්න වෙහෙසෙන කට සැර මුඩුක්කු කෙල්ලකගේ චරිතයක් ඒ ටෙලි නාට්‍යයේ කළේ. හිරු චැනල් එකේ ගිය පළමු ටෙලියත් ඒකයි. මට ඒකේ ප්‍රධානම චරිතය ලැබුණු එක ගැන සතුටක් දැනුණා. 2020 පූජිත ගුණතිලක අයියගේ ‘සෙලීනා’ ටෙලියෙ රංගනයට ආවා. බොහොම ටිකයි ටෙලිවල රඟපෑවේ. මොකද කියනවා නම් චරිත පස්සේ යන්න ජනප්‍රිය තරුවක් වෙන්න මට හීන තිබුණේ නැති නිසා.
‘එලද බ්‍රා’ ෆිල්ම් එක ගැන කතා කරමු නිලක්ෂි?
ඒ නමට නම් මම කොහොමත් ආසා වුණේ නැහැ. ඒත් ෆිල්ම් එක භාරගත්තා. එහෙම භාරගත්තේ එයාලා මට පොරොන්දු වුණා නම පස්සේ වෙනස් කරනවා කියලා. ඒ හින්දා මම කැමැති වුණා. ඒත් හිතට දුකයි. එයාලා ඒ පොරොන්දුව ඉෂ්ට නොකරපු එක ගැන. මම තවමත් ඉන්නේ ඒ කලකිරීම මතයි.
ඒ ගැන මෙහෙම පත්තරේ ලිව්වට කමක් නැද්ද නිලක්ෂි?
අනිවාර්යයෙන්ම ලියන්න ඕනෙ හින්දා තමයි මේක කියන්නේ.
ඒ කියන්නේ ‘එලද බ්‍රා’ ෆිල්ම් එක නිලුක්ෂි කළේ සතුටින් නෙවෙයිද?
එහෙම කියන්නේ නැහැ. මොකද මට පොරොන්දු වෙලා තිබුණනේ නම වෙනස් කරනවා කියලා. අනෙක එහි රඟපෑ ශිල්පීන් සමග රඟපෑම මට සහනයක් පහසුවක් වුණා. මම එහි රූගතකිරීම්වලට සහභාගි වුණේ හුඟක් සැහැල්ලුවෙන්.
සංකීර්ණ චරිතයකට මැදිවෙන බලාපොරොත්තුවක ඉන්නවද?
එහෙමම කියලා බලාපොරොත්තුවක් නැහැ. ඒත් හොඳ නිර්මාණශීලී යමක් කරන්න ආසයි. ඒ වගේ හොඳ යමක් කරන්න පුළුවන් කෙනෙක් මා තුළ ඉන්න බව විශ්වාසයි. නමුත් ලොකුවට ඒ ගැන හීන මවන්නේ නැහැ. ඒ පස්සේ දුවන්න ඕනෑකමක් නැහැ.
ඔබ ටිකක් සැරයි කියලා සමහරු කියනවද මන්දා?
එහෙම වැරැදි හැඟීමක් මං ගැන නොදන්න අයගේ හිත්වල තියෙන බව දැනෙනවා. ඒත් නිලක්ෂි අමන්දා කියන්නේ හරිම සරල සුන්දර නිහතමානී චරිතයක්.
කලා කටයුතුලදී මහත්තයා සීමා දානවද?

අයියෝ නැහැ. මාව උනන්දු කරන්නේ එයයි. මගෙ කොස්ටියුම්ස් තෝරගන්න පවා එයා මට උදව් කරනවා. එයා මගේ වාසනාවට ලැබුණු පාට්නර් කෙනෙක්.

මල්මි කෞෂල්‍යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top