ගල්කිස්ස උසාවියේදී පොලිස් නිලධාරියකු හා නීතිඥවරයකු අතර ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වෙනුවෙන් නීතිපති සහාය ලබාගන්නා බව පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය පැවසුවා.
එසේම රජයේ නිතීඥවරයකුත් සම්බන්ධ කරගෙන අවශ්‍ය ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා.
ත්‍රිකුණාමලය සහ කන්තලේ පොලිස් කොට්ඨාසවල පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් අද (12) ත්‍රිකුණාමල හින්දු සංස්කෘතික ශාලාවේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස්පතිවරයා,
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය අඩුපාඩුවක් නොමැතිව නිසි ලෙස ක්‍රියා කළාද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න පොලිස් විශේෂ විමර්ශන් ඒකකයට භාරදීලා තියෙනවා. ඒත් එක්කම දැනට අපක්ෂපාතී විමර්ශනයක් සිදුවෙනවා. හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවෙනවා. ගරු නිතිපතිතුමා මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා නිතිපති සහායත් රජයේ නිතීඥවරයකුත් සම්බන්ධ කරගෙන අවශ්‍ය ඉදිරි නිතිමය ක්‍රියාමාර්ග ගන්නවා.”
පොලිස්පතිවරයා මෙලෙස පැවසුවේ හෙට (13) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව කැඳවීමට නියමිතව ඇති බැවින් ඒ සඳහා නිතීඥ සහායක් පොලිස් නිලධාරියාට ලබා නොදෙන්නේ දැයි මාධ්‍යවේදියකු නැඟූ පැනයට පිළිතුරු ලබා දෙමින්.
