ශ්‍රී ලන්කන් යානයේ වැසිකිලියට යන්න බැරිව රණ්ඩු කළ මගියා ගමනත් ‘බකල්’ කරගෙන රිමාන්ඩ්

සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 266 දරණ ගුවන් යානය තුළදී, ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට පහර දුන් බව කියන සෞදි අරාබි ජාතික මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 28 හැවිරිදි මෙම සැකකරු, මැලේසියාව බලා යෑමේ අරමුණින් කටුනායක ගුවන් තොටුපළ හරහා සංක්‍රමණය වෙමින් සිටි අයෙකු බව වාර්තා වේ.
ගැටුම හටගෙන ඇත්තේ,

යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වෙමින් තිබූ අවස්ථාවේදීය. එම මොහොතේදී, සියලු මගීන් ආසන පටි පැළඳ අසුන් ගෙන සිටිය යුතු බවට වන අනිවාර්ය ආරක්ෂක රෙගුලාසිය උල්ලංඝනය කරමින් මෙම මගියා වැසිකිළිය වෙත යාමට උත්සාහ දරා ඇත.

මෙම අවස්ථාවේදී ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින් ඊට මැදිහත් වී ඔහුව වළක්වාලීමට උත්සාහ කර තිබෙන අතර, එහිදී අදාළ මගියා ආක්‍රමණශීලී ලෙස හැසිරෙමින් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දී ඇති බවට චෝදනා එල්ල වේ. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් විසින් වහාම යානයේ නියමුවා දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි.

යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් සැකකාර සෞදි ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත. ගුවන් තොටුපළ පොලිසිය සහ සංචාරක පොලිසිය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, සැකකරුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත්, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ගුවන් තොටුපළ පොලිසිය තහවුරු කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top