2024 වර්ෂයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 2359 මියගිහින්
2024 වසරේ මාස 11ක් තුළ සිදුවූ බස් රථ 2,005ක අනතුරුවලින් 1,490ක්ම පෞද්ගලික බස් අනතුරු
රථ වාහන නීතිය මාස 03කට රිවස්
සවි කරන කෑලිවලට අයකරන නව ගාස්තු ක්‍රමවේදයක්
අද මුළු රටම කතාකරන්නේ වත්මන් ජනපතිවරයාගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ ගැනය. මේ කියන වැඩපිළිවෙළ ගැන වත්මන් ජනපතිවරයාගේ වචනයෙන්ම කිවහොත් රටෙහි පරිසර පද්ධතියම පිරිසිදුකිරීම පමණක් නොව, සමස්ත ගරාවැටුණු දිරාපත්වූ සමාජය හා අසරණභාවයට පත්වූ මාතෘ භූමිය යළි ප්‍රතිස්ථාපනය කිරීම එහි අරමුණ බවය. එහෙත් අද වැඩිදෙනකු මේ කියන ක්ලීන් ශ්‍රී ලංකා හා පොලිසියේ රාජකාරිය පටලවා ගැනීම නිසා සමාජය තුළ බොහෝ ආන්දෝලනයට තුඩුදෙන කාරණාවක් බවට පොලිසියේ රාජකාරිය පත්වී ඇත. එහි ආසන්නතම සිද්ධිය රථ වාහන පිළිබඳව නීතිය ක්‍රියාත්මක වීමේ සිද්ධියය. ඒ අනුව රජය මගින් බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් රථ වාහනවල මුල්ආකෘතිය වෙනස් වන පරිද්දෙන් සවිකර ඇති අංගෝපාංග ගලවා ඉවත් කිරීමට මුලින්ම සති දෙකක කාලයක් ලබාදුන්නේය. එහෙත් එම තීරණය අද තාරුණ්‍යයයේ හීන බිඳින බවට කියන තරමටම වැරදි මතයක එල්බ සිටින බොහෝ අය දොස්පැවරුවේ පොලිසියට නොව වත්මන් ආණ්ඩුවටය.
රිවස් කරපු පොලිසියේ රථ වාහන රාජකාරිය
පසුගිය දා පොලිස් මූලස්ථානයේ වැඩබලන පොලිස්පතිතුමා හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්විය. එහිදී පොලිසිය මගින් ක්‍රියාත්මක කරන රථ වාහන මෙහෙයුම් මගින් බස් රථ හිමිකරුවන්ට සහ බස් රථ සේවකයන්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳ පැවැති සාකච්ඡාවෙන් පසු මාස තුනක කාලයක් බස් ඔවුන්ට නැවත ලබාදුන්නේ ය. අන්තිමට සිදුවූයේ රිය අනතුරුවලට තුඩුදෙන සියල්ල පොලිසිය මගින් ඉවත් කරන බවත් එසේ නොමැති අනෙකුත් කොටස් සවිකිරීම් නීත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කර ගැනීමට හෝ එසේ නොමැතිනම් ඒවා ඉවත් කොට නීතියට අනුගත වීමට මාස තුනක කාලයක් ලබාදීමය.
ගෙවුණු වසරේ මෙන්න අනතුරු
පොලිසියේ තීරණය රිවස් වෙද්දී අප මේ නැවත මතක් කරන්නේ පසුගිය කාලය තුළ මේ කියන බස් රථ හා අනෙකුත් වාහන මගින් සිදුවූ අනතුරු ගැනය. එනම් පසුගිය 2024 වර්ෂයේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 2359 මියගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එය 2023 වසරට සාපේක්‍ෂව ගත්විට වැඩිවීමකි. 2023 වසරේ රිය අනතුරුවලින් පුද්ගලයන් 2214ක් මියගොස් ඇති අතර 2024 වසරේ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 24,589කි. එයට බරපතළ අනතුරු 6,762ක් ද සුළු අනතුරු 9,945ක් ඇතුළත් ය. 2024 වසරේ මාස 11ක් තුළ බස් රථ අනතුරු 2,005ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් 1,490ක් පෞද්ගලික බස් අනතුරුය. එයට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 515ක් ද අයත් ය. එම වසරේ පෞද්ගලික බස් අනතුරුවලින් පුද්ගලයන් 148ක් මියගොස් ඇති අතර ලංගම බස් රථ අනතුරුවලින් මියගොස් ඇත්තේ 50ක සංඛ්‍යාවකි. ඒ අපේ රටේ ගෙවුණු කාලය තුළ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව හා මියගිය පුද්ගලයන් ගණනය.
වාහන තොරොම්බල්කරණය හා තාරුණ්‍යයයේ හීන
ඉකුත් ජනවාරි 01 වැනිදායින් ආරම්භ වූ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව විශේෂ රථවාහන මෙහෙයුමක් සිදුකරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගේ අත්සනින් යුතුව වගකිවයුතු ආයතනවලට ලිපියක් යොමුකළේය. එහිදී සලකා බැලිය යුතු කරුණු සම්බන්ධයෙන් ද උපදෙස් මාලාවක් එම ලිපියේ ඇතුළත් කර තිබිණි. ඒ අනුව 2025 ජනවාරි 02 දා ලිපියකින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය රථවාහන මෙහෙයුමේදී පරීක්‍ෂා කළ යුතු කරුණු සම්බන්ධව අවධාරණය කළේය. ඒ අනුව විවිධ නාද රටා, නිවි නිවී දැල්වෙන සහ විවිධ වර්ණවලින් යුතු අමතර පහන් සවිකර ධාවනය වන වාහන, ඝෝෂාකාරී නළා, අධික ශබ්දයෙන් යුතු සයිලන්සර්, ඉදිරිපස තබා ඇති ඉෂ්ට රූප (පිළිම) සමග ධාවනය පිළිබඳව ද අවධානය යොමුකරන ලෙස එහි සඳහන් ය. වැඩබලන පොලිස්පතිවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නීති විරෝධී සවිකිරීම් සමග රථ වාහන මාර්ගයේ ධාවනය කිරීම, රථය තුළ සිටින තැනැත්තන්ට හෝ මාර්ගය භාවිත කරන්නන්ට අනතුරක්, අපහසුවක් කරදරයක් හෝ හානියක් සිදුකිරීමට ඉඩ තිබෙන බවය. මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී 2009 අංක 08 දරන මෝටර් වාහන සංශෝධන පනත, 2013.01.31 දිනැති රජයේ අති විශේෂ ගැසට් පත්‍ර අංක 1795/35, 1996.05.16 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර අංක 923/12 නීති ප්‍රතිපාදන සලකා බලන ලෙස ඔහු උපදෙස් දුන්නේ ය.
පොතට දැම්මොත් අල්ලන්න බැරිලු
පසුගිය 08දා පොලිස් මූලස්ථානයේ වැඩබලන පොලිස්පතිතුමා හා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් කිහිපයක නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවේදී අමතර කොටස් සවිකිරීම් නීත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කර ගැනීමට මාස තුනක කාලයක් ලබාදුන්නේ ය. නමුත් අමතර උපාංග ඉවත් කිරීම බොහෝදෙනකු දුටුවේ ‘තරුණ හීන බොඳ කිරීමක් ලෙසය. ඉන් බොහෝ රැකියා අවස්ථා නැති වන බවය. දැන් එයට පිළිතුරුද ලැබී ඇත. ඒ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2013 වසරේ නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව වාහනවලට සවි කරන කෑලිවලට අයකරන නව ගාස්තු ක්‍රමවේදයක්ද හඳුන්වාදීමය. ඒ පොදු ප්‍රවාහන බස් රථ හා විනෝද චාරිකා සඳහා යොදාගනු ලබන විනෝදාස්වාදය වෙනුවෙන් නවීකරණය කරන ලද බස් රථ සම්බන්ධව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂයේ දී ඉදිරිපත් කරන ලද යෝජනාවලිය 2024/06 දරන දෙපාර්තමේන්තු චක්‍රලේඛයට අනුවය. එම චක්‍රලේඛය අනුව ත්‍රීරෝද රථ සහ බස් රථ අලංකරණය සඳහා අමතරව සවිකර ඇති උපාංග වෙනුවෙන් ගාස්තු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කොට ඇත්තේය.
තරුණ හීන කියන්නේ සුදු යකඩ කෑලියි තොරොම්බල් බඩු ද
ලංකාවේ සෑම දේශපාලනයකුම බලය ගන්නට පෙර දේශපාලන වේදිකාවේ සටන්පාඨ අතරේ තරුණ හීන හැබෑ කරන ආකාරය කිව්වේය. කොටින්ම තරුණයකුට මෝටර් බයිසිකලයක්, පවුලකට පුංචි කාර් එකක් ගන්න තැනට පත්කරන බවට වේදිකා දෙවනත් වන්නට කෑ ගැසීය. තරුණ හීන අතර වාහනයක සිහිනය අපේ රටේ තරුණ පරපුර තුළ තිබෙන බව සැබෑය. එහෙත් එදා සිට රටේ දේශපාලකයා තරුණ හීන හැබෑ කළේ වේදිකාවේදී පමණක්ය. එසේ පොරොන්දු වූ බොහෝ දේශපාලකයන් වැඩිදෙනෙක් දැන් ඉන්නේ ගෙදර ය. ඇතැමුන් විපක්‍ෂයේය. නැතහොත් ලැයිස්තුවෙන් ඇවිත් මන්ත්‍රී පට්ටමක් ලබාගෙනය. ඒ ගැන දැන් කතා කොට ඵලක් නැත. දැන් අලුත් රජයක් යටතේ අලුත් වැඩපිළිවෙළක කරන්නට යන වෙලාවේදී කතා අඩු කොට ඊට කවුරුත් සහය දියයුතුය. පසුගියදා යම් නීති මාලාවකට යටත්ව ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රීරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදියයුතු බව ලැයිස්තුවෙන් ආ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කිඹුල් කඳුළු හෙළනවාද අපි දුටුවෙමු. ඔහු කියන්නේ මාර්ග බලපත්‍රවලට පිටින් හා බස් රථ බලපත්‍රවලට පිටින් නොයන බස් රථ අලංකරණ කටයුතු සිදුකිරීමක් වරදක් නොවන බවය. ඔහු මේ කියන කතාව අනුමත කළ හැක්කක් ද නොවේය. රටේ නීතිය කාටත් එක සේ පොදු වියයුතුය. වත්මන් ආණ්ඩුව ද වාහන හිමියන්ට මේ සඳහා ලබාදුන් සති දෙකක කාලය දැන් මාස තුනකට ලබාදී ඇත්තේ නීති විරෝධී සවිකිරීම ගලවා ඉවත් කිරීමට හෝ නීත්‍යානුකූල ලෙස වාහනයේ ලියාපදිංචි සහතිකයට ඇතුළත් කර ගැනීමට ය. එහෙත් මේ ප්‍රශ්නයේදී ‘දී කිරට බළලුත් සාක්‍ෂි’ මෙන් නීති විරෝධී සවිකිරීම්වලට දැන් වැඩිපුරම අඬන්නේ වාහන රියැදුරන්ටත් වඩා හිටපු මැති ඇමැතිවරුන් ය. ඔවුන්ගේ හෙංචයියන් ය. ඔවුන් කියන්නේ අලුත් ආණ්ඩුවෙන් ගෙන එන නීති රීති නිසා රටේ ජනතාව දැන් අමාරුවේ වැටී ඇති බවය. මෙහි සත්‍ය කතාව නම් රටේ කවුරුත් පිළිගත යුත්තේ රථ වාහන රාජකාරියේ යෙදෙන්නේ ආණ්ඩුව නොව, ශ්‍රී ලංකා පොලිසිය බවත් එය ඔවුන්ගේ රාජකාරිය බව ය.
ඇක්සිඩන්ට් වෙන්නේ ස්ටිකර් හා ලයිට් නිසා ද
බොහෝ රියැදුරන් ප්‍රශ්න කරන්නේ වාහන ස්ටිකර් කිරීමෙන් හා අමතර පහන් සවිකර තිබීමෙන් රිය අනතුරු සිදුවන්නේ කෙසේද යන්න ය. එවැනිම සිද්ධියක් පසුගියදා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී ධාවනය වූ මගී බස් රථයක් පරීක්‍ෂාවේදී බස් රථයේ රියැදුරු පොලිසියෙන් ඇසුවේද එවැන්නක්ය. පොලිසිය සමග බහින් බස් වන ඔහු කරන්නේ මගීන් අතර මඟ බස්සවා බස් රථය රැගෙන යෑමය. එම බස් රථයේ ද සුදු යකඩ වැටවල් හා වෙනත් සවි කර ඇති දෑ ඉවත් කිරීමට රථ වාහන පොලිසිය දැනුවත් කරද්දී ඔහු කරන්නේ පොලිසියට නීතිය ඉගැන්වීමට යෑමය.
එදත් කොට උඩ ගිය වැඩේ මෙදා පාරත් හබක් ද
මේ තත්ත්වය අදක ඊයෙක නොවූවක් බවද සිහිපත් කරදිය යුතුය. බස් ඇතුළු වාහනවල නීතිවිරෝධී උපාංග ගැලවීම මින් පෙර පැවැති රජයන් ද සිදුකළ හැටි අපට මතකය. ඒ රාජපක්‍ෂ ආණ්ඩුවේ ද යහපාලන ආණ්ඩුවේ ද මෙවැනිම වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළද ඒවාද කඩාකප්පල් කළේ බස් සංගම් ය. ඔවුන් එදා කළේද බස් රථ ධාවනයෙන් ඉවත් වී ජනතාව මහ මඟ අතරමං කිරීමය. අද කරන්නේ ද එයමය. එසේ නම් මේ කියන බස් සංගම් හිමියන් අන්තිමේදී ඇපයට ගන්නේ අසරණ මගියාවය. මේ කරන්නේද අලුත් ආණ්ඩුවේ වැඩක් නොව මෙරට රථ වාහන පොලිසියේ රාජකාරියක් කියන්නේ මීට පෙර පැවැති ආණ්ඩු සමයේද පොලිසිය පොලිසියේ රාජකාරිය ඉටුකළේය. එහෙත් ඊට මෙරට බස් සංගම් හිමියෝ, රියැදුරෝ ඉඩදුන්නේ නැත.
බස් රියැදුරකුගෙන් අපූරු කතාවක්
අලුත් නීතිය ගැන කොළඹ . මාතර බස් රථ රියැදුරකුගෙන් විමසීමෙන් ඔහු හරි අපූරු කතාවක් කීය.
“පාරේ ඉරක් කපන්න නැතිව බස් එලවනවා කියන්නේ මගීන්ට අද ගෙදර යන එකට යන්න වෙන්නේ හෙට. මොකද පොලිසියේ අය කියන විදිහට බස් එලවන්න අපට බැහැ. ඊළඟ ටර්න් එක යන්න නම් වෙලාවට දුවන්න ඕනා. එහෙම කියලා පාරේ නවාතැන් ගන්න අපට බැහැ. පුළුවන් නම් ඕන ජගතෙක් ඉන්නව නම් අපට එලවලා පෙන්නන්න.” ඔහු එසේ කියන්නේ බස් රස්සාව ඒ තරමටම හිතන තරම් ලෙහෙසි පහසු නැති බව පෙන්වා දෙමින්ය.
“ඔය කිව්වට පොලිසියේ මහත්වරුත් බස්වලින් ලොරිවලින් කීයක් ගන්නවද මම කියන්නේ මුලින් අපිව ක්ලීන් කරන්න කලින් ඒ අයව ක්ලීන් කරලා ඉන්න ඕනා.” ඒ ඔහුගේ මතය ය.
“අපි හයර් එකක් දුවල සල්ලි හම්බ කරල වාහනේ හදා ගත්තේ ලස්සනට තියන්න ඕන හින්ද. කොහේද ඉතින් ආණ්ඩුව දැන් ත්‍රීවිල්වල හයිකරල තියෙන ඔක්කොම ගලවනවා. අපේ ආණ්ඩුව නැති කරන්නේ තාරුණ්‍යයයේ හීන. අපි ඡන්දෙ දීලා පත් කර ගත්තු ආණ්ඩුව අන්තිමේදී අපවම නන්නත්තාර කරනවා.” ත්‍රීරෝද රථ රියැදුරකු කීවේ එවන් කතාවකි.
ලංකාවේ මගී ප්‍රවාහනයේ මූලික සහ දැවැන්ත කාර්ය භාරයක් බස් කර්මාන්තයට හිමිව ඇති බව සැබෑය. එයින් හතරෙන් තුනක ප්‍රමාණයක සේවාව ලබාදෙන්නේද පෞද්ගලික බස් සේවාවන් මගිනි. එවන් සේවයක් ලබාදෙන ලංකාවේ බස් කර්මාන්තය තවමත් එකතැන් පල්වෙමින් පවතින්නේ නිසි නියාමනයක් මේ කර්මාන්තයට නොමැති කමින්ය. කොටින්ම කිවහොත් ලොරි චැසිවලට ගහපු මේ බස් බොඩි නිසා බස් කර්මාන්තය ගැන ලංකාවේ ජනයාට අලුත් අත්දැකීමක් ලබන දිනයක් පෙනෙන තෙක් මානයකවත් නැති
ගානය. හරියටම කිවහොත් මගියා මේ කියන බස් රථ කල්ක්‍රියාව ගැන සිටින්නේ මැසිවිලි නඟමින්ය. එහි ගාස්තු සංශෝධන ප්‍රශ්නය, විනය පිළිබඳ ප්‍රශ්න හා ප්‍රමිතිය පිළිබඳ දැවැන්ත චෝදනා රැසක් ලංකාවේ බස් කර්මාන්තයට කලක සිටම එල්ල වන්නකි.
“අපිත් කොහොම හරි බැන බැන හරි යන්නේ අපිට කියල වෙන කරන්න දෙයක් නැති තැන. මොකද තමන්ට කියල වාහනයක් අද ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඒ තරමට බදු. විදිමත් පොදු ප්‍රවාහනයක් රටේ නෑ. දුම්රිය සේවාවත් අද රටට බරක් වෙලා. අපිම පත්කරගත්තු ආණ්ඩු අද අපට බරක් වෙලා. මිනිහෙකුට බස් එකකට පර්මිට් එකක් ගන්න බෑ. ඒකටත් දේශපාලන අතපෙවීම්ක් ඕනා. බස් එකට වැඩිය ගණන් පර්මිට් එක. ඉතින් බස් රථ සේවාව කියන්නේ අපේ රටේ වෙනමම මාෆියාවක්.” දිනපතා බස් රථයේ වැඩට යන එන මගියකු කීවේ එවැනි කතාවකි.
බස් රථ තොරොම්බල්කරණ පිළිබඳව ද අයකු කීවේ තවත් කතාවකි. ඔහු කියන්නේ බස් රථයේ ගමන් කරද්දී ගමනාන්තයට යන තෙක් ජීවිත අවදානමද රැගෙන මගියා යා යුතු බවය.
“බස් රථවල ගොඩවෙද්දි තමයි තේරෙන්නේ මේ මිනිස්සු බස් එලවන්නේ කොහොමද කියලා.
ගොඩක් බස් ඇතුළේ ලයිට් දාලා, මල්වැල්, විවිධ පිළිම, සෙල්ලම් බඩු ඇතුළෙ හයි කරලා තවත් කරන්න දෙයක් නැති තරම්. කන පැලෙන්න කැසට් එකේ සද්දේ. ඒ මදිවට ෆයිලට් කෙනෙක්ට වගේ ටීවී හයි කරලා. රියැදුරාට පාර පේන්නෙ පොඩි හිලකින් වගේ. හෝන් එක උඩ නැඟගෙන තමයි එලවන්නේ. එහෙම යන්නෙත් ෆෝන් එක එක අතක තියාගෙන. හැම තිස්සෙම කෝල් කරන ගමන්. ඇත්තටම දැන් බස් රථ මල් වත්තක් වගේ. ඇත්තටම අපි යන්නෙ දේවාලෙකද කියලා හිතෙනවා. ඇත්තටම අද ගෙදර යනකම් ෂුවර් එකක් නැහැ ඒ තරමටම බස් ගමන තියෙන්නෙ භයානක තැනක.”
වැඩබලන පොලිස්පතිතුමා
පසුගියදා කියන්නේ මාර්ග විනය යනු රටක තත්ත්වය පිළිබඳව මිනුම් දණ්ඩක් බවත් ඒ අනුව දේශපාලන අතගැසීම්වලින් තොරව මාර්ග විනය සකස් කිරීමේ ක්‍රියාවලිය පවත්නා නීති උපයෝගී කරගෙන කටයුතු කරන බවය. එහෙත් අද පවතින තත්ත්වය වෙනත් මානයකින් බලන්නකුටත් දේශපාලනික වාසි ලබාගන්නකුට ද අලුත් මාතෘකාවක් විය හැකිය. ඔවුන් බලන්නේ කොක්කනේ බැරිනම් කෙක්කෙන් හෝ ආණ්ඩුවට ලෙඩක් ඇදීමටය. නැත්නම් පොලිසියේ ක්‍රියාවලිය ‘අල’ කිරීමටය. එය කෙසේ වුවද අනතුරු අවම කර ගැනීම සම්බන්ධව සියලු නීති ක්‍රියාත්මක කිරීම වත්මන් ආණ්ඩුවේ වගකීම බවත් ‘නීති පනත් රිවස් කිරීම’ ඊට පිළිතුරු නොවන බවද අපි මතක් කරමු.
රමින්ද මාවතගේ
