ගෝනගංආර පොලිස් වසමට අයත් යාල රක්ෂිතයේ හතරවන කලාපයේ ගල්තලාවක මිනිස් ඇට සැකිල්ලක් තිබී හමුවී තිබෙන පුවතක් වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් පිරිසක් විසින් පසුගියදා (15) ගෝනගංආර පොලීසිය දැනුවත් කර තිබුණා.
ඒ අනුව ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) වෙනිදා කිලෝමීටර් පනහක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයට දුෂ්කර ගමනකින් පසුව ගොස් එම මිනිස් ඇටසැකිල්ල සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුරුව ඒ සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමටයි පියවර ගෙන ඇත.
පසුව වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් චතුර එරංග දිසානායක මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික පරීක්ෂණ සිදුකර තිබේ.
එම ඇටසැකිලි කොටස් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයට භාරදී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල ජේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් අනුව ගෝනගංආර පොලිස් ස්ථානාධිපති වසන්ත බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
එම අවස්ථාවට මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.සී ලක්මාලි මහත්මියද සහභාගී වී සිටි බවයි පැවසෙන්නේ.
මියගිය පුද්ගලයා කළුපාට කොට කලිසමක් ඇඳ සිට ඇති අතර ඔහු කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.


