සංස්ථාවේ සභාපතිවරයාට පරිහරණය පිණිස දී ඇති අතිසුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය භාවිතය සභාපතිවරයා ප්රතික්ෂේප කර තිබේ.
එයට හේතුව මේ මෝටර් රථය ඉන්ධන භාවිතය අතින් අවම කාර්යක්ෂමතාවක් සැපයීමයි. BMW 7 SERIESට අයත් මේ මෝටර් රථය 2018 වසරේ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 29.5කට (රුපියල් ලක්ෂ 295ක්) ය. මෝටර් රථය පෙට්රල් ලීටරයකින් ධාවනය කළ හැක්කේ කිලෝමීටර් 4ක් පමණි. මේ වන විට මෝටර් රථය අවස්ථා කිහිපයකම අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් හැටහත් ලක්ෂ හැත්තෑහයදහස් තුන්සිය හතළිස් නවයක් වැය කර තිබේ. එමෙන්ම වාහනයේ මාසික සේවා වෙනුවෙන්ද අතිවිශාල මුදලක් වැය කරන්න සිදුව තිබේ. එසේම වාර්ෂික රක්ෂණාවරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කළ යුතුය.
මේ සුපිරි මෝටර් රථයේ වර්තමාන වටිනාකම වන්නේ රුපියල් මිලියන 52ක් හෙවත් ලක්ෂ 520කි. මේ රථය ධාවනය කළත් නොකළත් පාඩු සිදු වේ. වාහනය භාවිතා නොකළ විට සිදු වන්නේ එහි රික්තක අඩු වී (වැකුම් බැස) එයි සංවේදක (සෙන්සර්) අක්රිය වී විශාල වියදමක් දරන්නට සිදු වීමයි. භාවිත කළ විට අධික ඉන්ධන පරිභෝජනයක් සිදු වේ.
මේ කරුණු සැලකිල්ලට ගත් වර්තමාන සභාපතිවරයා මේ වන විට තීරණය කර ඇත්තේ එම සුපිරි රථය අලෙවි කර, එයින් වායුසමනය කළ බස් රථ දෙකක් මිලට ගෙන, එම බස් රථ සේවක ප්රවාහනය වෙනුවෙන් ලබා දෙන්නටය. ඒ හරහා සංස්ථාවට විශාල වැයක් අඩු වනු ඇත. එක් අතකින් බස් මිල දී ගන්නා නව බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ එක් බස් රථයකට මිලියන 20ක් පමණ වන අතර, බස් රථ දෙක වෙනුවෙන් වැය කළ යුත්තේ මිලියන 40ක් පමණ මුදලක් පමණි.
එසේම මේ වන විට සේවක ප්රවාහනයට යොදා ඇති ටාටා බස් රථ වසර 10කට වඩා පැරැණි වන අතර, එම බස් රථවල ගමන් කිරීම සේවකයන්ටද මහත් හිරිහැරයකි. මිල දී ගැනීමට යෝජනා කර ඇති බස් රථ දෙක පූර්ණ වායුසමනය කළ බස් රථ වේ. එමෙන්ම දැනට භාවිත කරනු ලබන දොර දෙකේ බස් රථ සඳහා රියැදුරුට අමතරව තවත් සහායකයකු ගමන් කළ යුතුය. එහෙත් මිලට ගැනීමට යෝජිත බස් රථවලවලට රියැදුරු පමණක් ප්රමාණවත් වනු ඇත. ඒ මඟින්ද අතිරේකව වැය කළ යුතු වැටුප්, අතිකාල ඇතුළු විශාල මුදලක් ඉතිරි වනු ඇත.
ඊට අදාළ අධ්යක්ෂ මණ්ඩල පත්රිකාව පසුගිය සිකුරාදා ඉදිරිපත් කර තිබිණි.
