පියුමිගේ ‘‘ලොලියා’’ ගන්න අයට CIDය කරදර කළ බව සුමුදු අධිකරණයට කියයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ නිෂ්පාදන මිලදී ගන්නා පාරිභෝගිකයන් අපහසුතාවට පත්වෙන අයුරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියාකර ඇතැයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වී තිබේ.

පියුමි හංසමාලි සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක වෙත එලෙස දැනුම් දී ඇත.

පියුමි හංසමාලිගේ ලොලියා නිෂ්පාදන මිලදී ගත් පාරිභෝගිකයන්ගේ නිවාස කරා ගොස් ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කිරීමෙන්, ලොලියා ව්‍යාපාරයට බලපෑමක් හා අගතියක් සිදුව ඇතැයි, පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමුදු හේවගේ මහතා අධිකරණය වෙත දන්වා සිටියේය.

ඒ පිළිබඳව කරුණු විමසීමට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ හා වත්කම් උපයාගත් බව කියන නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ ‘‘ලොලියා’’ ආයතනය මගින් සිදුකර ඇති ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දී තිබේ.

පියුමි හංසමාලිගේ ”LOLLIA” Skin Care (pvt) Ltd ආයතනය මගින් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු ආදායම් බදු ගෙවීම්, ව්‍යාපාරයේ ගිණුම් සම්බන්ධයෙන් මෙන්ම අදාළ ව්‍යාපාරය මගින් විදේශ ආනයනය හා අපනයන සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් එලෙස විමර්ශන කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී තිබේ.

සබැඳි පුවත්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top