අන්තර්ජාල වංචාවට කෝපරේට් බෑන්ක් අකවුන්ට් එක කුලියට දුන් ගිණුම් සහකාර අත්අඩංගුවට

සංවිධානාත්මක අන්තර්ජාල මුදල් වංචාකරන කණ්ඩායමකට සිය බැංකු ගිණුම දින 20ක කාලයක් සඳහා අලෙවි කළ පෞද්ගලික ආයතනයක ගිණුම් සහකාරවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලය තුළ අදාළ බැංකු ගිණුම හරහා රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බව විමර්ශන මගින් අනාවරණය කරගෙන ඇත. 
අන්තර්ජාල ව්‍යාපාරයක් හරහා මුදල් ඉපැයිය හැකි බව පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් 5,42,877ක් වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබේ. වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය යොදාගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර, වංචා කළ මුදල් බැංකු ගිණුම් 6ක් වෙත බැර කර ඇති බවට හෙළිවී ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙමටගොඩ, මවුලානාවීදිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි. සිය බැංකු ගිණුම ජාවාරම්කරුවන්ට ලබාදීම වෙනුවෙන් ඔහුට රුපියල් 40,000කට ආසන්න මුදලක් ලැබී ඇති බවත්, ඔහු එම මුදල කාඩ්පතක් මගින් ලබාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

මෙම මුදල් වංචාවට අදාළව මීට පෙරද සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අත්අඩංගුවට ගත් ගිණුම් සහකාරවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, ඔහුගේ ගිණුමෙන් වෙනත් ගිණුම් වෙත මුදල් හුවමාරු වීම් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීම සඳහා අධිකරණයේ අවසරය ලබාගෙන තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top