බැංකු හා මුල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක්

බැංකුවලට සහ ෆිනෑන්ස් ආයතනවලට වාහන සහ වෙනත් විවිධ දේපළ සම්බන්ධයෙන් හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි දෙදහසකට වැඩි ප්‍රමාණයක් අයකර ගැනීමට නොහැකිව පවතින බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ පවසයි.

ණය හෝ ලීසිං වාරික තිහක් හෝ ඊට වැඩියෙන් ගෙවීම පැහැර හැරි අයද රැසක් විවිධ ප්‍රදේශවලින් හමුවී ඇතැයි ඔහු කියා සිටියි.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙම හිඟ වාරික අයකර නොගතහොත් රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටීමේ අවදානමක් පවතින බවත් එසේ වුවහොත් රජයට සංවර්ධන මාවතේ ඉදිරියට ගමන් කිරීමට බාධාකාරී තත්වයක් පැන නගිනු ඇතැයිද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

පිළි ගත් ලියාපදිංචිය සහිත සංගම්වලට දේපළ අත්පත් කර ගැනීමට අවස්ථාව දෙන්නැයි මූලය ආයතනවලින් ඉල්ලීමක් කරන බවත් ඔහු මෙහිදී පැවසුවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියන්ත ලියනගේ මෙසේ ද පවසා සිටියේය

” රටේ මූල්‍ය පද්ධතිය රඳා පවතින්නේ හිඟ හෝ ණය වාරික නිසි වෙලාවට අයකර ගැනීම හෝ දේපළ නැවත අත්පත් කර ගැනීමේ සාර්ථකත්වය මතයි. අපි නීත්‍යානුකූල ලියාපදිංචි සංගමයක්. අපේ නිලධාරීන් විනය ගරුකයි. අපිට මේ වැඩේ බාධාවකින් තොරව කරගෙන යන්න ඉඩ දෙන්න කියලා පොලිස්පතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා.

දේපළ අත්පත් කරගැනීමේ පැමිණිලි බාරගන්න. බාරගෙන අවශ්‍ය කටයුතු කරන්න. පැමිණිලි බාරගන්න බැහැ කිව්වොත් අධිකරණයට යෑමටද අපිට බලය තියෙනවා. නීතිඥයෙකු නමින් පෙනී සිටින ව්‍යාජ නීතිඥයෙකු අද පොලිසිවලට ගොස් දේපළ අත් පත් කර ගැනීමේ ක්‍රියාවලියට බාධා කරන තත්වයක් තියෙනවා. ඔහු නීතිඥයෙකු නොවන බව නීතිඥ සංගමය පවා අපිට දැනුම් දී තිබෙනවා. ණය නොගෙවන අය වෙනුවෙන් පෙනී සිට මූල්‍ය ආයතන කඩා වැට්ටවීම ඔහුගේ අරමුණයි.

එවැනි බොරුකාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.සිය දේපළවල ණය වාරික සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේනම් අප සංගමය අමතන්න. අපි ඒ සඳහා නොමිලේ සේවය සලසන්න සූදානම්. බොරුකාරයන්ට රැවටෙන්න එපා කියන එක අපි නැවත වතාවක් ඉල්ලනවා.”

අශිකා ජයවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top