වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) සමාගම් වෙළෙඳ ගාස්තු අඩු කරයි

වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) සමාගම්, ඇමරිකා එක්සත් ජනපදයේ වෙළෙඳුන් සමඟ දශක දෙකක කාලයක් පුරා පැවති දීර්ඝ නීතිමය අරගලයක් විසඳා ගැනීමේ අවසන් අදියරට පැමිණ තිබේ. මෙම නව එකඟතාවය හරහා ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සඳහා වෙළෙඳුන් විසින් ගෙවනු ලබන ගාස්තු අඩු කිරීමටත්, තමන් භාරගන්නා කාඩ්පත් වර්ග තෝරා ගැනීමේ වැඩි පාලනයක් ඔවුන්ට ලබා දීමටත් අපේක්ෂා කරන බව ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පත වාර්තා කර ඇත.

මෙම ගිවිසුම සඳහා අධිකරණ අනුමැතිය හිමි වුවහොත්, එය පාරිභෝගිකයන් මුදල් ගෙවීමේදී සැලකිය යුතු වෙනස්කම් ඇති කිරීමට ඉඩ ඇත. විශේෂයෙන්ම වෙළෙඳුන්ට ඉහළ ගාස්තු සහිත ‘රිවෝඩ්’ (rewards) කාඩ්පත් ප්‍රතික්ෂේප කරමින්, වාණිජ හෝ ත්‍යාග නොවන කාඩ්පත් පමණක් තෝරා බේරා භාරගැනීමේ අවස්ථාව හිමි වනු ඇත. පාරිභෝගිකයන් අතර රිවෝඩ් කාඩ්පත් ජනප්‍රිය වී ඇති නමුත් ඒවා සැකසීම සඳහා වෙළෙඳුන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවන බැවින්, මෙම වෙනස පාරිභෝගික හැසිරීම් කෙරෙහිද බලපෑ හැකිය.

වීසා, මාස්ටර්කාඩ් සහ ප්‍රධාන බැංකු විසින් අන්තර් හුවමාරු ගාස්තු සහ කාඩ්පත් භාරගැනීමේ නීති සම්බන්ධයෙන් අසාධාරණ තරඟකාරී පිළිවෙත් අනුගමනය කරන බවට වෙළෙඳුන් චෝදනා කිරීමත් සමඟ 2005 වසරේදී මෙම නීතිමය ආරවුල ආරම්භ විය. මීට පෙර 2024 මාර්තු මාසයේදී එළැඹුණු එකඟතාවයකින් වසර පහක් තුළ ගාස්තු සියයට 0.07කින් අඩු කිරීමට යෝජනා වූ නමුත්, එම ගිවිසුම අදාළ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

දැනට සාකච්ඡා වෙමින් පවතින නව බේරුම්කරණය තුළද ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සඳහා අමතර ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් පෙරට සමාන විධිවිධාන ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. අධිකරණ අනුමැතිය ලැබුණු වහාම මේ පිළිබඳ නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top