පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, එම සිදුවීම සම්බන්ධයෙන් හිටපු හමුදා නිලධාරියෙක් හෝ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු මේ බව පවසා ඇත්තේ, ඉකුත් ඇමෙරිකා එක්සත් ජනපද සංචාරය අතරතුර ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවකදීයි.
මෙම අවස්ථාවේදී විමර්ශන පමා වීම පිළිබඳ ශ්‍රී ලාංකිකයෙකු විසින් චෝදනාත්මකව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා සිටියේ වත්මන් පරිපාලනයට උරුම වූයේ දෝෂ සහිත හා අසම්පූර්ණ විමර්ශනයක් බවයි.
“2019 යේ ආණ්ඩුව පෙරළා යනකොටම අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ 500 ගණක් මාරු කරා. පරීක්ෂණ භාරව හිටපු නිලධාරීන් මාරු කරා. පරීක්ෂණ භාරව හිටපු සමහර නිලධාරීන් රිමාන්ඩ් කරා…
මේ සිදුවීම සිද්ධ වෙන්නේ 2019 අප්‍රේල්. දැන් අවුරුදු 6කට වඩා වැඩි කාලයක් වෙනවා. අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ඇත්තටම දක්ෂයි. රටේ ආන්දෝලනයට තුඩු දී තිබෙන ඕනෑම ඝාතනයක් ඕනෑම අපරාධයක් විසඳන්න අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සමත් වෙලා තිබෙනවා. අපේ රටේ විසඳන්න බැරි වුනු ඝාතන අපරාධ තියෙනවා. සාමාන්‍යකරණය කරලා බැලුවොත් ඔක්කොම පිටුපස දේශපාලනයක් තියෙනවා.
එතකොට 2019 අපරාධය සිද්ධ වෙනවා. අපරාධයට සම්බන්ධ වූවායැයි කියලා අපේක්ෂා කරන අය පාලන බලයටත් එනවා 2019. එතකොට අපරාධය කරන්න ඒ යන්ත්‍රයේ හිටියා යැයි කියන අයත් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ යාන්ත්‍රණයේ වගකිව යුතු තනතුරුවලට එනවා
එතකොට අපරාධකාරයෙක්ගේ හැසිරීම කොහොම වෙයිද? ඒ නිසා සාක්ෂි මකා දැමීම්, සාක්ෂි වසන් කිරීම, පරීක්ෂණය යන අත වෙනුවට වෙන අතකට යොමු කිරීම ආදි බොහෝ දේ සිදුවිය හැකියි. දැන් අපිට ලැබෙන්නේ අන්න එවැනි තත්ත්වයක් තිබෙන පරීක්ෂණයක්. නිකන් අර ඊයේ සිද්ධිය වෙලා අද පරීක්ෂණය නෙවෙයි. ප්‍රහාරය සිද්ධ වෙනවා. ප්‍රහාරය සම්බන්ධ වූවා යැයි කියන අයම සමහර වෙලාවට එහි යාන්ත්‍රණයේ වගකීම් දරනවා. නැවත පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒක ටිකක් දුෂ්කර ක්‍රියාදාමයක්. එහෙත් මම හිතනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සැලකිය යුතු ප්‍රමාණයක් ඔබ දන්නවා මෑතකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව විසින් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා. තවත් මම හිතන්නේ හමුදාවේ ඒ කාලේ ක්‍රියාකාරීව හිටපු කීප දෙනෙක් එක්කෙනෙක් හෝ දෙන්නෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙනවා. පරීක්ෂණ ඉස්සරහට දියත් වෙමින් තිබෙනවා…
