වන අලි ප්‍රහාරයෙන් මවක් සහ දියණියක් මරුට

ශ්‍රීමතී විජේරත්න –

මවක් සහ දියණියක් වන අලි ප්‍රහාරයකට ලක්වී ඇති අතර දියණිය එම ස්ථානයේ මියගොස් ඇති බවත් මව අසාධ්‍ය තත්ත්වයෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බවත් මහව පොලිසිය පවසයි.
මෙම වන අලි ප්‍රහාරය අද(19) පෙරවරු නමයයි තිහට(9.30) පමණ සිදුව තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මහව, මැඩියාව, නිකවෙලයාය ලිපිනයේ පදිංචි ඒ.එච්.එම්. තක්ෂිලා සුභාෂිණි (28) නැමැති තරුණියකි.

වන අලි ප්‍රහාරයට ලක්වූ මව ඒ .එම්. ඉනෝකා කුමාරි (53) ය. ඇය අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය යේ රාජකාරී සිදු කරන නිලධාරිනියකි.

අද පෙරවරු 8.30ට පමණ අබකොළ වැව කුඹුරු යායේ ඔවුන්ගේ මුං වගාවට කෘමි නාශක ඉසීම සඳහා ගොස් තිබේ. එම කුඹුර මී ඔයට යාබදව පිහිටා තිබේ. ඔවුන් කෘමි නාශක ඉසීම සඳහා මී ඔයෙන් ජලය ලබා ගෙන ඇත.

ඒ මොහොතේ මී ඔය කැලෑ ප්‍රදේශයේ සිටි වන අලියෙකු ඔවුන් පසුපස පන්නා විත් මෙම අනතුර සිදුකර ඇත.

අනතුරින් 28 හැවිරිදි දියණිය එම ස්ථානයේ දී ම මිය ගිය අතර, වන අලි ප්‍රහාරයෙන් දැඩි ලෙස හානියට පත්ව සිටි මව ප්‍රදේශවාසීන් විසින් අඹන්පොළ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත එවා ඇත. ඉන්පසුව අද හවස් වරුවේ ඇයද මිය ගියාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top