පාර්ලිමේන්තු මන්ත්‍රීලා 224ටම යළි පොලිස් ආරක්ෂාව

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කථානායක ජගත් වික්‍රමරත්න මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත කරන ලද දැනුම් දීමට අනුව එම තීරණයට එළැඹ ඇතැයි ද පැවසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලමින් වරින්වර තමා වෙත කරන ලද ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා එම ඉල්ලීම් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ බව කථානායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් දීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර ඇතැයි ද පැවසේ.

ඊට පසුගිය දිනවල ඇති වූ ආන්දෝලනාත්මක කරුණු දෙකක්ද හේතු වී ඇත.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාවේ නඩු විභාගය පැවැත්වෙන අතරතුර විත්තිකූඩුව තුළ දී සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමත් සමග රට තුළ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය එලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් දෙදෙනකු දීමට එක් හේතුවක් වී ඇත. අදාළ අපරාධය වූ දින එය නිරීක්ෂණය කිරීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි මහජන ආරක්ෂක ඇමැති නීතිඥ සුනිල් වටගල අධිකරණ පරිශ්‍රයෙන් පිටවී යෑමේදී සිය වාහනය ගෙන්වා ගැනීමේදී ඇති වූ තත්ත්වයද මෙලෙස මන්ත්‍රිවරුන්ට පොලිස් නිලධාරින් දෙදෙනකු දීමට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වත්මන් රජය බලයට පැමිණීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නොමැති බව සඳහන් කරමින් ඔවුන් ඉවත් කිරීමට පියවර ගෙන තිබිණි.

මූලාශ්‍රය – අරුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top