හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් ලබා දී තිබූ වෙඩි නොවදින මෝටර් රථයද රජයට භාර දීමට ඊයේ(03)කටයුතු කළ බවයි නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂකයන්ට ගමන් කිරීමට ලබා දී තිබූ සියලු රථද මේ වන විට ආපසු රජයට භාරගෙන ඇති බවයි.
ඒ අනුව මේ වන විට ආරක්ෂකයින්ට ගමන් කිරීම සඳහා කිසිදු රථයක් නැතැයිද මනෝඡ් ගමගේ පෙන්වා දෙනවා.
ගිනි අවි සහිත ආරක්ෂකයන්ට පෞද්ගලික රථවල ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවත් එම තත්ත්වය මත මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය යම් අනතුරුදායක තත්ත්වයකට පත්වී තිබෙන බවත් ඔහු පැවසුවා.
මහින්ද රාජපක්ෂ මහතා බැලීමට විශාල වශයෙන් පිරිස් තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණෙන බවත් ඊට අමතරව ඵ් මහතාට විවිධ උත්සව සඳහා ආරාධනා ලැබෙන බවත් මේ තත්ත්වයන් සලකා බලා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කිරීම ඉතා වැදගත් වන බවත් මනෝජ් ගමගේ සඳහන් කරනවා.
ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය ලබා දුන් ජනාධිපතිවරයාට මෙවැනි ඉරණමක් අත්වීම ඉතාම කණගාටුදායක බවත් එම නිසා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කිරීම සියලුම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බවත් මනෝජ් ගමගේ සඳහන් කරනවා
මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව මේ ආකාරයට අඩු කරන්නේ කාගේ වුවමනාවට දැයි කියා බරපතළ ප්‍රශ්නයක් රට හමුවේ මතු වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ පිළිබඳව ලබන සතියේ ලිඛිතව අදාළ අංශ වෙත දැනුම් දෙන බවත් නීතිඥ මනෝජ් ගමගේ තවදුරටත් කියා සිටියා.
